ඉන්දියාව පසුගියදා ක්‍රියාත්මක කළ ඉන්ධන බදු සංශෝධන ආදර්ශයට ගන්නා ලෙස පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රජයට දැනුම් දී සිටී.
සිය X ගිණුමේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ ඉන්දියාව නිෂ්පාදන බදු (Excise Duty) අඩු කළේ මිල ක්ෂණිකව පහත හෙළීමට නොව, වෙළඳපොළ ස්ථාවර කිරීමට සහ ගෝලීය තෙල් මිල ඉහළ යාම් හමුවේ දේශීය මිල ගණන් තවදුරටත් ඉහළ යාම වැළැක්වීමට බවය.
ශ්‍රී ලංකාව ඉදිරියට යාමේදී රජය තමන්ගේම ආර්ථික ප්‍රතිපත්ති ශක්තිමත් කරගත යුතු බව ඔහු අවධාරණය කරයි.
මූල්‍ය විනය වැදගත් වුවද, ඉන්දියාවේ වර්ධනය ඉලක්ක කරගත් ප්‍රවේශය මෙන් අධික බදු බර අඩු කිරීමෙන් ආයෝජන දිරිමත් කිරීමට ද ජනතාව මත ඇති පීඩනය ලිහිල් කිරීමට සහ දිගුකාලීන ආර්ථික ප්‍රකෘතියට සහාය වීමට ද හැකි බවට ද ඔහු ආණ්ඩුවට පෙන්වා දෙයි.
එසේම, ඉන්දියාවේ ‘අසල්වැසියා ප්‍රථමයෙන්’ (Neighbourhood First) ප්‍රතිපත්තිය යටතේ මෙරටට පෙට්‍රෝලියම් මෙට්‍රික් ටොන් 38,000ක් ලබාදීම සම්බන්ධයෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඇතුළු එරට ජනතාවට ඔහු සිය ස්තුතිය ද පුද කර තිබේ.
ඕනෑම අර්බුදකාරී අවස්ථාවක ශ්‍රී ලංකාවේ පළමු ප්‍රතිචාරකයා ලෙස ඉන්දියාව කටයුතු කර ඇති බවත්, කලාපීය සංවර්ධනය වෙනුවෙන් රටවල් උපායමාර්ගික හවුල්කරුවන් ලෙස කටයුතු කිරීම අත්‍යවශ්‍ය බවත් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.







