ETI ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් PLC යන ආයතනවල ව්‍යාපාර කටයුතු අත්හිටුවෙයි

අද (13) සි‍ට බලපැවැත්වෙන පරිදි ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකා මහබැංකුව පියවර ගෙන තිබේ.

ඒ පිළිබඳ දන්වමින් මහබැංකුව විසින් පහත නිවේදනය නිකුත් කර ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 31 වන වගන්තිය ප්‍රකාරව, 2020 ජූලි මස 13 වන දින සි‍ට බලපැවැත්වෙන පරිදි ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී යන ආයතන දෙකෙහි ව්‍යාපාර කටයුතු අත්හිටුවීම සඳහා 2020 ජූලි මස 10 වන දින තීරණය කරන ලදී.


2011 වසරේ සිට පැවති විවිධ අක්‍රමිකතා හේතුකොටගෙන ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනය මේ වන වි‍ට බංකොලොත්භාවයට පත්ව ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එම ආයතන යථා තත්වයට පත් කිරීම සඳහා සපයන ලද මාර්ගෝපදේශන සඳහා සෑහීමකට පත්විය හැකි පිළියම් යෙදීමට මෙම ආයතන වල අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරීත්වය දිගින් දිගටම අපොහොසත් වීම නිසා 2018 ජනවාරි 02 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් එකී ආයතන වල මෙහෙයුම් කටයුතු සීමා කිරීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ බලතල සීමා කිරීම මෙන්ම එම ආයතන කටයුතු අධීක්ෂණය සඳහා කළමනාකාර මණ්ඩලයක් පත් කරන ලදි.

ඉන් අනතුරුව ගනුලැබූ ක්‍රියාමාර්ග මඟින් මෙම ආයතන වල පැවති මුළු තැන්පතු වලින් 30% ක ප්‍රමාණයක් තැන්පතුකරුවන් වෙත ගෙවීමට එම ආයතන වලට අවස්ථාව සැලසුණි. මුදල් මණ්ඩලයේ විධානයන් මඟින් ආයතන දෙකෙහිම අධ්‍යක්ෂවරුන් වෙත එකී ආයතන යථා තත්වයට පත් කිරීම සඳහා සුදුසු ආයෝජකයින් ඉදිරිපත් කිරීමට නියම කර තිබුණ ද, ක්‍රියාවට නැංවිය හැකි කිසිදු සාර්ථක යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඔවුන් අපොහොසත් වූ අතර ආයතනයන්හි මූල්‍ය තත්වයද ක්‍රමයෙන් පසුබෑමට ලක්වීම අඛණ්ඩව සිදුවිය.

එහි ප්‍රතිඵලයක් ලෙස ආයතන දෙකෙහිම තැන්පතු කල්පිරුණද, ඒවා තැන්පතුකරුවන්ට ගෙවීමට නොහැකි තත්වයකට වර්තමානය වන විට ආයතන දෙකම පත් වී ඇත.

ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී යන ආයතන වල ව්‍යාපාර කටයුතු අත්හිටුවීමත් සමඟ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත, ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාරක ක්‍රමය මඟින් එහි පවත්නා නීති හා රෙගුලාසි ප්‍රකාරව, රක්ෂිත තැන්පතුකරුවන් හට වන්දි ගෙවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලබන අතර එමඟින්,

  1. ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ සමස්ථ තැන්පතුකරුවන්ගෙන් ආසන්න වශයෙන් 75% කට (සමස්ථ තැන්පතුකරුවන් 38,111 ක් අතරින් 28,554 කට) තම සමස්ථ තැන්පතු මුදල ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, ඉතිරි 25% ක තැන්පතුකරුවන්හට (තැන්පතුකරුවන් 9,557 කට) මූලිකව තමන්ගේ තැන්පතු මුදලින් කොටසක් ලෙස රුපියල් 600,000 ක මුදලක් ලැබෙනු ඇත.
  2. ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනයේ තැන්පතුකරුවන්ගෙන් ආසන්න වශයෙන් 89% කට (සමස්ථ තැන්පතුකරුවන් 8,726 ක් අතරින් 7,802 කට) තම සමස්ථ තැන්පතු මුදල ලබා ගැනීමට හැකියාව ලැබෙන අතර, ඉතිරි 11% ක තැන්පතුකරුවන්හට (තැන්පතුකරුවන් 924 කට) තම තැන්පතු මුදලින් කොටසක් ලෙස රුපියල් 600,000 ක මුදලක් මූලිකව ලැබෙනු ඇත.

තවද 2020 ජූලි 13 වන දින සිට බලපැවැත්වෙන පරිදි, 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතෙහි 9(1) වගන්තිය ප්‍රකාරව “ලියාපදිංචි මූල්‍ය කල්බදු ආයතන” ලෙස ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනය සහ ස්වර්ණමහල් ෆයිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී ආයතනය ලබා තිබූ ලියාපදිංචි සහතිකයන් අත්හිටුවීමේ නිවේදන නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් තීරණය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව මෙ‍‍ම ආයතන සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර පිළිබඳව ඉදිරියේදී ජනතාව දැනුවත් කෙරෙනු ඇත.

Exit mobile version