ෆයිල් කඩදාසිවලින් කොම්පියුටරේට මාරුවෙන්න කොටස් වෙළෙඳපොළට සුරැකුම්පත් කොමිසමෙන් අනුමැතිය…

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු කඩදාසි භාවිතයේ සිට ඉලෙක්ට්‍රෝනික ගනුදෙනු පරිසරයකට සංක්‍රමණය වීමට අදාළව කොලඹ කොටස් වෙළෙඳපොළ් විසින් සිදු කරන ලද නීති සංශෝධනවලට එම වෙළෙඳපොළේ නියාමකයා වන සුරුකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අනුමැතිය හිමිව ඇත.

සංශෝධිත නීති රීති යටතේ, කොටස් තැරැව්කාර සමාගම් ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට යවනු ලබන ගිණුම් ප්‍රකාශ, ගැනුම් සටහන් හා විකුණුම් සටහන් සහ මධ්‍යම තැන්පතු ක්‍රමය විසින් ගිණුම් හිමියන් සඳහා යවනු ලබන මාසික ප්‍රකාශ කඩදාසි භාවිතයේ සිට ඉලෙක්ට්‍රෝනික ක්‍රමයකට පරිවර්තනය කිරීමක් සිදුවේ. සංශෝධිත නීති මගින්, ලැයිස්තුගත සමාගම්වලට තම කොටස් හිමියන්ට මුද්‍රිත නොවන ආකාරයෙන් වාර්ෂික වාර්තා යැවීමටත් සහ ලාභාංශ ගෙවීම් බැංකු හරහා විද්‍යුත් ආකාරයෙන් සිදුකිරීමටත් පහසුකම් සැලසේ.

අදාළ ප්‍රකාශනයන් බාධාවකින් තොරව ලැබීම සඳහා නියමිත ආකෘතියට අනුව ආයෝජකයින්ට ඔවුන්ගේ විද්‍යුත් තැපැල් ලිපිනයන්, බැංකු ගිණුම් අංක සහ ජංගම දුරකථන අංක කොටස් තැරැව්කාර ආයතනය වෙත ලබාදෙන ලෙස උනන්දු කරනු ලැබේ.


මෙම වෙනස්කම් ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව විසින් පිහිටුවනු ලැබු ඒකාබද්ධ කමිටුව ආරම්භ කරන ලද වෙළෙඳපොළ ඩිජිටල්කරණ වැඩසටහනේ කොටසකි.

මෙම වැඩසටහන යටතේ, ආයෝජකයෙකුට සීඩීඑස් ගිණුමක් විවෘත කිරීම, කොටස් ගණුදෙනු ආරම්භ කිරීම සහ බේරුම් කිරීම් විද්‍යුත් ආකාරයට සිදු කිරීම ඇතුළු ගිණුම් විවෘත කිරීමේ ක්‍රියාවලිය කොටස් තැරැව්කරුවකුගේ කාර්යාලයකට පිවිසීමේ අවශ්‍යතාවයකින් තොරව සිදුකර ගැනීමට පහසුකම් සැලසෙනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්තමානය වන විට, සියලුම කොටස් තැරැව්කාර ආයතන හරහා අන්තර්ජාලය පදනම් කරගත් ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සළසා ඇති අතර මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ගිණුම් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාම සහ කොටස් තැරැව්කාර සමාගම් සහ බැංකු අතර අරමුදල් පියවීම සම්පුර්ණයෙන්ම විද්‍යුත් ආකාරයෙන් සිදු කිරීමට හැකිය. මෙම පහසුකම් යොදාගෙන අන්තර්ජාලය හරහා කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු සිදු කිරීමට සහ විද්‍යුත් ආකාරයෙන් කොටස් වෙළෙඳ ගනුදෙනු මුදල් පියවීම් සිදුකිරීමට ආයෝජකයන් උනන්දු කිරීමට නියමිතය.

 

Exit mobile version