සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය අරමුණු කරගත් GLX Garage වැඩසටහන ඇරඹෙයි

තිරසාර ව්‍යාපාර සවිබල ගැන්වීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන Good Life X (GLX) ආයතනය, තම නවතම ව්‍යවසාය සංවර්ධන වැඩසටහන ‘GLX Garage’ නමින් පසුගියදා හඳුන්වා දෙන ලදී.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තම කෙටි කාලීන හා දිගුකාලීන ඉලක්ක සකසා ගැනීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කර දීම, මෙම වැඩසටහනේ ඉලක්කය වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාර තුළ නව වෙනසක් නිර්මාණය කරගැනීමට මෙන්ම, දෙස් විදෙස් වෙළෙඳපොළ වර්ධනය කරගැනීමට ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අවස්ථාව හිමිවනු ඇත.

GLX යනු, ආහාර හා කෘෂිකර්මාන්තය, සුවතාව, සංචාරක, නිර්මාණ සැලසුම් ආදී ප්‍රධාන ක්ෂේත්‍ර රැසක් සමඟ සමීපව කටයුතු කරන ආයතනයකි. එමගින් මෙරට තිරසාර සංවර්ධනය පෙරටු කරගත් ව්‍යවසායකයින්ට සැලසෙන ප්‍රතිලාභ ද රැසකි. උදාහරණ ලෙස, ව්‍යාපාර ප්‍රවීණතාව, නව්‍ය තාක්ෂණික විසඳුම්, අලුත් ක්‍රමෝපාය සංවර්ධනය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ බුද්ධි තොරතුරු ආදී ප්‍රතිලාභ නව ව්‍යවසායකයින් වෙත ගලායන අතර, එම ව්‍යාපාරවල සංවර්ධනය හා නව හැකියාවන් අත්පත් කරගැනීමට ඉන් අවස්ථාව උදා වේ.


වර්තමානයේදී මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ක්‍රියාත්මක වන්නේ ඉතාම අභියෝගකාරී ව්‍යාපාර පරිසරයක ය. ඔවුන්ට තම ව්‍යාපාරවල පැවැත්ම මෙන්ම ජාත්‍යන්තර වෙළෙඳපොළ දිනාගැනීම වෙනුවෙන් අලුතින් සිතීමටත්, නවෝත්පාදන සිදුකිරීමට හා ව්‍යාපාර ක්‍රියාවලි ප්‍රති නිර්මාණය කිරීමටත් සිදුව තිබේ.

විශේෂයෙන් ම කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ලොව පුරා ජන ජීවිත විශාල වෙනසකට ලක්ව ඇත. එබැවින්, ජාත්‍යන්තර වෙළෙඳපොළට පිවිසීම ඇතුළු බොහෝ අභියෝග කල්පනාකාරීව ජයගැනීමට, මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සිදුවේ.

මේ අතර GLX සතු ගෝලීය සහකරුවන් ජාලය ද, නව ව්‍යාපාර සඳහා ම ගැලපෙන සැලසුම් හඳුන්වා දීමට උපකාරී වේ.

“GLX Garage වැඩසටහන හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට අපි ලබාදෙන දායකත්වය තවදුරටත් ඉහළ නැංවීමට හැකිවෙනවා. විශේෂයෙන් ම ගෝලීය වසංගතයේ උච්චතම අවස්ථාවක ඔවුන්ට ශක්තිමත්ව නැඟීසිටීමට සහාය වීම ඉතා වැදගත්. අපේ ඉලක්කය වන්නේ, මෙම ව්‍යාපාර ආයතනවලට අලුත් හැරවුමක් සහ දියුණු වාණිජ බලයක් ලබාදෙමින් ජාත්‍යන්තර වෙළෙඳපොළ දිනාගැනීම සඳහා උපකාර කිරීමයි. ඊට සමගාමීව ශ්‍රී ලංකාවේ තිරසාර ආර්ථික සංවර්ධනයටත් මෙම වැඩසටහන උපකාරී වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා” යැයි GoodLife X අධ්‍යක්ෂිකා රන්දුලා ද සිල්වා පැවසුවාය.

GLX Garage පළමු නියමු ව්‍යාපෘතිය සඳහා Target Agriculture, House of Lonali, Worga Naturals, Serendipol හා Ceylon Exports and Trading යන තෝරාගත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ආයතන සම්බන්ධ වේ.

මෙම වැඩසටහනට සහභාගී වීම සඳහා අයැදුම්පත් විශාල සංඛ්‍යාවක් ලැබී තිබුණි. ඒ අතුරින් පළමු ව්‍යාපෘතිය සඳහා සුදුස්සන් තෝරාගනු ලැබුවේ, ජර්මනිය, අමෙරිකා එක්සත් ජනපදය හා හොංකොං යන රටවලින් සම්බන්ධ වූ ගෝලීය විශේෂඥයින් පිරිසකගේ දායකත්වයෙනි. එය ඉතාම විධිමත් තේරීම් ක්‍රියාවලියක් විය.

“අලුත් ආර්ථික හා ව්‍යාපාරික පරිසරය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන අභියෝග සඳහා මෙම වැඩසටහනෙන් විසඳුම් ලබාදෙනවා. ඊට අමතරව නව අවස්ථා පදනම් කරගනිමින් ව්‍යාපාර වේගවත්ව ඉදිරියට ගෙනයාමටත් සහාය වෙනවා. වඩාත්ම වැදගත් කරුණ වන්නේ, සෑම ව්‍යාපාර ආයතනයකටම ඔවුන්ටම ගැලපෙන සැලසුම් හා ඉලක්ක සැපයීම යි. එතුළින් ව්‍යාපාර නැවත දියුණු වීම, ජාත්‍යන්තර විශේෂඥයින් හා හවුල්කරුවන් කරා ප්‍රවේශ වීම, පාරිභෝගික ආකර්ෂණය වැඩිවීම හා ඉලක්කගත වෙළෙඳපොළවල් හා සම්බන්ධ වීම ආදී බොහෝ ප්‍රතිලාභ ඔවුන්ට හිමිවෙනවා” යනුවෙන් ‍මේ පිළිබඳ අදහස් දක්වමින් GLX Garage වැඩසටහන් අධ්‍යක්ෂ නියෝ ලියනගේ පැවසීය.

මෙම වැඩසටහන හරහා තමන්ට සුදුසු ව්‍යාපාර හවුල්කරුවන් හඳුනාගැනීමටත්, දෙස් විදෙස් ව්‍යවසායකයින් සමඟ අදහස් හුවමාරු කරගැනීමටත් ලැබෙන්නේ විශාල පිටිවහලකි. අනාගතයේදී විශේෂ ලකුණු ක්‍රමවේදයක් හඳුන්වා දෙමින් මෙම ව්‍යාපාර ආයතන ගෝලීය වශයෙන් වර්ග කිරීමට ද GLX Garage අපේක්ෂා කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


GLX Garage වැඩසටහන යනු ජර්මනියේ Noah පදනම විසින්, ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍යංශයේ සහයෝගයෙන්, කොවිඩ් වසංගතයට ප්‍රතිචාර වශයෙන් ආරම්භ කරන ලද වැඩපිළිවෙලකි.

Exit mobile version