සෑම පැයකටම රටේ ජනතාව කෝටි 25ක් ණය වෙන රටක්…  සුනිල් හඳුන්නෙත්ති.

රට බරපතල ණය උගුලක සිරවී ඇති බවත්, සෑම පැයකටම රටේ ජනතාව කෝටි 25ක ණය කරුවන් වන ආකාරය 2020 මහබැංකු වාර්තාව   ඔප්පු කර ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (09) බත්තරමුල්ල  ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ඔහු එහි දී මෙසේ ද ප්‍රකාශ කළේය.


“රජයේ සමස්ත නොපියවූ ණය 2019දී බිලියන 14,155යි. 2020 වනවිට බිලියන 16,427ක් බවට පත්වෙලා. මධ්‍යම රජයේ ණය පමණක් බිලියන 15,000ක්. රජයේ අනෙකුත් ආයතනවල ණය සහ ඇපකරත් එක්ක බිලියන 16,427ක් වෙලා තියෙනවා. අවුරුද්දක් ඇතුළත පමණක් බිලියන 2272කින් රටේ ණය පංගුව වැඩි කරලා තියෙනවා.

1948 ඉඳලා 2005 දක්වා දිගටම ගත් ණයවල එකතුව බිලියන 2226යි. ඛේදවාචකයේ තරම පැහැදිළි වෙන්නේ 2020දී පමණක් බිලියන 2272ක ණය ගැනීමෙන්. රටේ ජනතාව පැයකට රු. කෝටි 25ක් ණයකරුවන් බවට පත්කරන ආණ්ඩුවක් තියෙන්නේ.

රජයේ ආදායමට වඩා අවුරුද්දකදී ලබා ගන්නා ණය වැඩි වෙලා. ආණ්ඩුව විශාල වශයෙන් ණය අරගෙන තියෙන්නේ වානිජ බැංකුවලින්. රටේ නිෂ්පාදනය සඳහා යොදවන්න තිබෙන මුදල් ආණ්ඩුවේ පැවැත්ම වෙනුවෙන් අරගෙන තියෙනවා. මේ ආණ්ඩුව අරගෙන තිබෙන්නේ මොන සංවර්ධන උපායමාර්ගයක්ද? මහ බැංකු වාර්තාව 194වැනි පිටුවේ මේ බවට හොඳ උදාහරණයක් තියෙනවා. “

“ 2020 වසර තුළදී රජය වෙත සපයන ලද ශුද්ධ ණය රු. බිලියන 1752කින් ඉහළ ගියා. මහබැංකුව සහ වානිජ බැංකු පමණක් රජයට දී තිබෙන මුදල 2019දී බිලියන 2795ක්.   2020දී බිලියන 4548ක් අරන් තියෙනවා. බිලියන 1700කින් ශුද්ධ ප්‍රමාණයේ ණය වැඩිවෙලා තියෙන්නේ මේ විදිහට.

ඒකෙන් බිලියන 654ක්ම සල්ලි අච්චු ගහලා. රටේ ජනතාවට නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා යොදවන්න තියෙන මුදල් රජයේ කටයුතු සඳහා ලබාගෙන. දේශීය වශයෙන් ණය පංගුව වැඩිකරගන්න අතර විදේශ සංචිතයත් අඩුකරගෙන. විදේශ රටවල්, විදේශ ණය දෙන ආයතන අප රට සම්බන්ධයෙන් තීරණ ගන්නේ විදේශ සංචිත ප්‍රමාණය මත.

අපි බරපතළ ආර්ථික අර්බුදයකට ගමන් කරමින් තිබෙන බව අපි දිගින් දිගටම අනතුරු ඇඟවූවා. විදේශ සංචිතය 2019දී ඩොලර් මිලියන 7642ක් තිබිලා 2020 අවසන් වනවිට ඩොලර් මිලියන 5674ක් දක්වා අඩුවෙලා. මේ අවුරුද්දේ ගෙවී ගිය මාස 04 තුළදී මේ තත්වය ඩොලර් බිලියන 04ක් දක්වා අඩුවෙලා.

ආණ්ඩුව ඉදිරි අවුරුද්ද සඳහා ඩොලර් බිලියන 6.9ක විදේශ ණය ගෙවන්න ඕනෑ. ලබන ජූලි මාසයේ 27වැනිදාට ඩොලර් බිලියනයක ස්වෛරීත්ව බැඳුම්කර ණය ගෙවන්න ඕනෑ. මේ ණය ගෙවන්නේ කොහොමද?

රට ඉතාම බරපතළ ආර්ථික ඛේදවාචකයකට ලක් කරලා තියනවා කියන්නෙ ඒකයි. ආණ්ඩුව ආර්ථිකය හදන්න හිතලවත් තියෙන බවක් අපිට පෙන්නේ නැහැ. ජනතාවත් එක්ක, නිෂ්පාදන ක්‍රියාවලියත් එක්ක, කර්මාන්තත් එක්ක බද්ධවෙච්ච වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැහැ. මෙතෙක් කරගෙන ආ ආකාරයටම රටේ සම්පත් විකිණීමේ ගමන ඇරෙන්න වෙන මාර්ගයක් පෙන්වලා නැහැ. ඒ නිසයි පෝට් සිටිය සම්බන්ධ මාතෘකාව ඉස්සරහට අරගෙන තියෙන්නේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වානිජ බැංකුවල වත්කම් ආණ්ඩුවට ගැනීමෙන් සහ මුදල් අච්චු ගැසීමෙන් මේ රට ගොඩගන්න බැහැ කියන එක මේ මහ බැංකු වාර්තාවෙනුත් පැහැදිලි වෙනවා. අපි පහුගිය කාලයේම රටට ඉදිරිපත් කළ තොරතුරු මහ බැංකු වාර්තාවේ දත්තවලින් පවා තහවුරු කර තිබෙනවා.

Exit mobile version