වානිජ මණ්ඩල‍යෙන් කෝච්චියට අයිස් පෙට්ටි යෝජනාවක්

සෑම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයක් අසලම ඇති ගබඩා පහසුකම් පුළුල් කිරීමට සහ එම මධ්‍යස්ථාන ආශ්‍රිත ව ශීතාගාර ඇති කිරීමටත් තෝරා ගත් ප්‍රදේශ කිහිපයක් හරහා කොළඹට එන සෑම දුම්රියකම එක් පෙට්ටියක් ශීතාගාර සහිත බහලුම් පෙට්ටියක් යොදන ලෙසත් ශ්‍රි ලංකා වානිජ මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටී.

ඔවුන් මෙම ඉලලීම ඇතුළත් කර තිබුණේ ශ්‍රි ලංකා වානිජ මන්ඩලය විසින් කොවිඩ් 19 කොරෝනා වසංගතයෙන්  බිඳ වැටුණු ශ්‍රි ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත් කිරීම සඳහා කළ යුතු දේ පිළිබඳ ව සකස් කළ යෝජනා මාලාවකය. සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි සකස් කොට ඇති මෙම යෝජනා අතර ක්ෂණික ව කළ යුතු, මධ්‍ය කාලීන හා දිගු කාලීන අංග සම්පූර්ණව සකසා ඇති  මෙම යෝජනා මාලාව පසුගියදා ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ සහ දිළිඳුකම දුරලීමේ කාර්ය සාධක බලකාය වෙත ඉදිරිපත් කර ඇත.

කෘෂි අංශය සම්බන්ධයෙන් වහා කළ යුතු යෝජනා අතරට ඔවුන් එක් කොට ඇති යෝජනාවක් වන්නේ මෙලෙස විශේෂ ආර්ථික මධ්‍යස්ථාන අසල ඇති රජයේ ගබඩා ශීතාගාර බවට පරිවර්තනය කළ යුතු බවය. එහිදී දැනට පවතින සම්පත් උපරිම වශයෙන් භාවිතයට ගනිමින් පෞද්ගලික අංශයේ ශීතාගාර මෙහෙයුම්කරුවන්ද හවුල් කරගෙන රාජ්‍ය පෞද්ලික හවුල් ව්‍යාපාර ලෙස ඒවා ස්ථාපනය කළ යුතු බවය. දැනට මෙරට ජනතාවට අවශ්‍ය කෘෂි නිෂ්පාදන මිල වේගයෙන් ඉහළ පහළ යන තත්ත්වයට හේතුව මෙසේ ගබඩා පහසුකම් නොමැති වීම බව පෙන්වා දෙන වානිජ මණ්ඩලය මෙම කටයුත්ත හැකි ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දෙයි.


එසේම ප්‍රවාහනයේ දී සිදුවන නාස්තිය සහ අධික වියදම අවම කිරීම සඳහා මෙරට ප්‍රධාන දුම්රිය මාර්ග හයක ධාවනය ශීතාගාර සහිත දුම්රිය බහලුම් මැදිරි ධාවනය කිරීමට කටයතු කරන ලෙසටද යෝජනා කොට තිබේ. ඔවුන්ගේ යෝජනාවට අනුව මෙම ශීතාගාර මැදිරි බෙලිඅත්ත, බදුල්ල , ත්‍රිකුණාමලය, පුත්තලම, යාපනය සහ මඩකලපුව සිට ධාවනය කළ යුතු බවටත් ඒ අනුව මෙම පුදේශ ආශ්‍රිත විශාල පරාසයක කෘෂි නිෂ්පාදන රට තුළ හුවමාරු කර ගැනීමට හැකිවන බවත් ශ්‍රි ලංකා වානිජ මණ්ඩලය තම යෝජනා මඟින් ඉදිරිපත් කොට ඇත. මෙමඟින් කාර්යක්ෂමව අඩු වියදමකින් මෙම කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය කිරීමට හැකි වෙයි.

එයට අමතරව කෘෂිකර්මාන්තය සඳහා තරුණ ජ්‍රජාව සහභාගී කර ගැනීමට අදාළ නව්‍යකරණ වැඩසටහන් දියත් කිරීමටද යෝජනා කර ඇති අතර වැඩි අස්වැන්නක් ලබා දෙන බීජවර්ග ආනයනය සඳහා බදු සන ලබා දීම පිළිබඳවද යෝජනා ඇතුළත්ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ දිගු සහ මධ්‍ය කාලීන යෝජනා ද මෙම පුළුල් යෝජනාවලියේ පවතින අතර මධ්‍ය කාලීන පියවරක් ලෙස කෘෂිකර්මාන්තතය ඉහළ නැංවීම සඳහා සියලු පාර්ශ්ව නියෝජනය කරන ජාතික මෙහෙයුම් කමිටුවක් සැකසිය යුතු බවටද යෝජනා කර තිබේ.

Exit mobile version