මෙරට සංචාරක ව්‍යාපාරය නැවත විවෘත කිරීම සඳහා ගෙන ඇති පියවර CNN අගයයි

ජාත්‍යන්තර ජනමාධ්‍ය අතර ඉදිරියෙන්ම සිටින කීර්තිමත් ප්‍රවෘත්ති නාළිකාවක් වන CNN, විසින් ශ්‍රී ලංකාව සහ ශ්‍රී ලංකා සංචරණය (Sri Lanka Tourism) ඇගයීමට ලක්කර තිබේ.

ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථිකයට ප්‍රබල ශක්තියක් ලබා දෙන සංචාරක ව්‍යාපාරය කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නැවත නගාසිටුවීම සඳහා නව්‍යකරණ ක්‍රමවේදයක් හරහා නව සාමාන්‍ය වාතාවරණයකදී (New Normal) ගනු ලැබූ විශිෂ්ට උත්සාහය හා කැපවීම වෙනුවෙන් CNN ප්‍රවෘත්ති නාළිකාව මෙම ඇගයීම සිදුකර ඇත.

මෙරටට පැමිණෙන සංචාරකයින්ට නිදහස් නීරෝධායන සංචාර හෙවත් Quarantine free සංචාරක අවස්ථා නිර්මාණය කරදීමට අදාල පාලන අධිකාරීන් කල්පනා කරන ලදී. ඒ සඳහා “ජෛව බුබුළු “bio-bubble” සංකල්පය භාවිතා කළ අතර ආරක්ෂිත හා සුරක්ෂිත හෝටල් සහතිකය හඳුන්වා දීමෙන් සංචාරක හෝටල් සේවක පිරිස් සංචාරක කර්මාන්තයෙහි නියැලි ව්‍යාපාරික පාර්ශවකරුවන්, දේශීය ජනයාගේ ආරක්ෂාව සහතික කර ඇත.


සුරක්ෂිතතා මාර්ගෝපදේශ භාවිතයෙන් ශ්‍රී ලංකා සංචරණය මූලිකත්වයෙන් මෙහෙයවූ නව්‍යකරණ කළමනාකරණ ආදර්ශය මෙහිදී විශේෂයෙන්ම කැපී පෙණිනි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිර්මාණය කරන ලද එම මාර්ගෝපදේශයන්, කර්මාන්තයෙහි අවශ්‍යතාවය අනුව සංචාරක අධිකාරිය විසින් භාවිතයට ගන්නා ලදී. කරුණු තුනක් මත පදනම්වන මෙම නව්‍ය ක්‍රමවේදය නිසා මෙම කාලසීමාවේදී ශ්‍රි ලංකාව සංචාරක ගමනාන්තයක් ලෙස ඉහළ අවධානයට ලක්විය.

මෙම ක්‍රමවේදය අනුව සංචාරය කිරීමට අනුකූලතාවය දැක්වීම නිසා සංචාරක කර්මාන්ත ව්‍යාපාරිකයින්ට අදාල සංචාර බුබුල නොබිඳී පවත්වාගැනීම සිදුකල හැකි අතරම, රටට අවශ්‍ය විදේශ විනිමය සම්පාදනය කිරීමේ මගත් නැවතත් විවෘත වේ.

CNN නාලිකාවේ ‘First Move with ‘Julia Chatterley’ වැඩසටහන සමග සම්බන්ධ වෙමින් මෙම නව්‍ය ක්‍රමවේදය පිළිබඳව අදහස් දක්වන ශ්‍රී ලංකා සංචරණයෙහි සභාපතිනිය – කිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසන්නේ ‘නීරෝධායන මධ්‍යස්ථාන’ පිහිටුවීම හා එන්නත්කරණ වැඩසටහන සංචාරක කර්මාන්තය තුල ක්‍රියාත්මක කිරීම ඇතුළුව කොවිඩ් වසංගතය පාලනය හා එය කළමනාකරණය සඳහා ආරම්භයේ සිටම රජය ගෙන ගිය ක්‍රියාකාරී යාන්ත්‍රණය අතිශය ඉහළ වැදගත්කමක් ගන්නා බවයි.

මේ වන විට මෙරට සංචාරය සඳහා පැමිණෙමින් සිටින විදෙස් සංචාරකයින් සහ ඒ සමග මතුවන වෙළෙඳපොල ප්‍රවණතා ඉදිරියේදී සංචාරක කර්මාන්තය විසින් ඉල්ලා සිටින අවශ්‍යතා පිළිබඳව කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැහැදිලි කරන ලදී.

ජාත්‍යන්තරය සමග ගුවන් මාර්ග සබඳතාවය පවත්වාගැනීම හා නව ගුවන් සේවා පහක් සමග ගුවන් ගමන් සබඳතා ඇතිකර ගනිමින් 2021 ජනවාරි 21 වැනි දින සිට නැවත ශ්‍රී ලංකාව විවෘතවීම පිළිබඳවද ඒ මහත්මිය CNN නාලිකාව සමග අදහස් පළ කර සිටියාය.

සංචාරක කර්මාන්තය සඳහා රට නැවත විවෘත වීමත් සමග ඊට අදාලව ශ්‍රී ලංකා සංචරණය කාලීනව හා වඩාත් ක්‍රමෝපායිකව සුදානම්වු ආකාරය පිළිබඳවද වැඩසටහන අතර දැනගන්නට ලැබිණි.

ආරක්ෂිත හා සුරක්ෂිත සහතිකකරණ ලබාදීමේ වැඩසටහන මෙන්ම සංචාරක හෝටල්, සංචාරක මගපෙන්වන්නන් හා සංචාරක වාහන රියදුරන් වෙනුවෙන් පුහුණු වැඩසටහන් පැවැත්වීම වැනි කරුණු පිළිබඳව එහිදී කිමාලි ප්‍රනාන්දු මහත්මිය විසින් ජාත්‍යන්තරයට විශිෂ්ට දැනුවත් කිරීමක් සිදු කළාය.

ශ්‍රී ලංකා සංචරණය විසින් මෙම ක්‍රියාවලිය සැලසුම් කරන ලද අතර බාධාවකින් තොරව, සුරක්ෂිතව හා ආරක්ෂිතව මතකයේ රැඳෙන විනෝදජනක සංචාර අත්දැකීමක් විදෙස් සංචාරකයින්ට ලබා දීම එහි අරමුණයි. එම වැඩපිළිවෙල තවදුරටත් විධිමත් කිරීමට ඔවුහු කටයුතු කරමින් සිටින බවද එහිදී ඇය ප්‍රකාශ කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංචාරක කර්මාන්තයට සම්බන්ධ ව්‍යාපාරික පාර්ශවකරුවන් සෑම විටම මනා සම්බන්ධීකරණයක් සහිත තිරසාර මෙන්ම කාර්යක්ෂම ක්‍රියාවලියක් අපේක්ෂා කරන අතර, ඔවුන් බලාපොරොත්තු වන පසුබිම නිර්මාණය කරදීමට ශ්‍රී ලංකා සංචරණය කැපවී සිටින බවද කිමාලි ප්‍රනාන්දු මහත්මිය විසින් පැවසිය.

Exit mobile version