පොල් කට්ටේ  සැඟවුණු කළු රත්තරන් ධම්මික පෙරේරාගේ සාක්කු  පුරවන හැටි

පසුගිය දිනවල වාර්තාගත ලෙස කොළඹ කොටස්  වෙළෙඳපොල ඉහළ යාමත් සමඟ ආයෝජකයන්ගේ උනන්දුව මේ පිළිබඳව වැඩි වී තිබේ.  සමාජ මාධ්‍ය ජාල තුළද කොළඹ කොටස් වෙළෙඳපොළ තුළ සිදුවන කතා බහ අතරේ මෙරට ප්‍රධාන පෙළේ ආයෝජකයෙකු ඊයේ තම ටිවිටර් ගිණුමේ සඳහන් කර තිබුණේ කළු රත්තරන් මිල දී ගන්නා ලෙසය.

බ්ලැක් ගෝල්ඩ් ලෙසින් ඔහු හඳුන්වා දුන් කළු රත්තරන් (Black Gold)  මොනවාදැයි බොහෝ දෙනකුට ප්‍රශ්නයක් වී ඇත. එහෙත් කොළඹ කොටස් වෙළෙඳපොළේ ක්‍රියාකාරීත්වය ගැන අවබෝධයක් ඇත්තන් ඔහු කළු  රත්තරන් ලෙසින් හැඳින්වූයේ සක්‍රීය කාබන්වලට බව අවබෝධ කර ගන්නට ඒ තරම් වෙලාවක් ගත වූයේ නැත. ඉතාම කෙටියෙන් කියනවා නම් නියමිත උෂ්ණත්වයකට පිළිස්සූ පොල්කටු අඟුරුය.

සක්‍රීය කාබන් (Activated Carbon)  නිෂ්පාදනය කරන ප්‍රධානතම නිෂ්පාදකයා වන්නේ  හෙලීස් සමාගම් සමූහයට වැඩි අයිතියක් ඇති හේකාබ් සමාගමයි. ඔහු ව්‍යංගයෙන්  පවසා තිබුණේ මේ  දිනවල  විශේෂ කොටස් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන හේකාබ් සමාගමේ කොටස් මිලදී ගන්නා ලෙසය.


හේකාබ් යනු හේලීස් සමාගම් සමූහයට අයත් ඉහළම අපනයන ආදායම් උපයන සමාගම්වලින් එකකි. එය පසුගිය 2019  වසරේ ලද ශුද්ධ ලාබය රුපියල් මිලියන 301කි. එය ඉපැයූ සමස්ත ආදායම රුපියල් මිලියන 5300කි.   එය ශ්‍රී ලංකාවට විදේශ විනිමය ගෙන එන්නේ සක්‍රිය කාබන් අපනයනයෙනි. අද කළු රත්තරන් බවට පත්ව ඇති  සක්‍රිය කාබන් නිපදවන්නේ  අප ඉහත කී ආකාරයට පොල්කටු අඟුරුවලිනි. පොල් ගා ඉවත ලන පොල් කටු එක්තු කර නියමිත උෂණත්වයකට පිලිස්සීමෙන් පසුව කාබන් සක්‍රීයකරවන ක්‍රියාවලියකට ලක් කිරීමෙන් මෙම සක්‍රීය කාබන් නිපදවන අතර මේ සඳහා ලෝක වෙළෙඳපොළේ ඇත්තේ ඉහළ ඉල්ලුමකි.

හේලීස් යනු මෙරට ප්‍රමුඛතම පෙළේ  විවිධාංගකරණයට ලක් වූ සමාගමකි. මෙම සමාගමේ වැඩි කොටස් හිමිකාරීත්වය පවතින්නේ  ධම්මික පෙරේරා ගේ ආයෝජන වපසරිය තුළය. ඒ  අනුව බලන කල පොල් කටුවෙන් ලබා ගන්නා සක්‍රීය කාබන්  ධම්මික පෙරේරාගේ සාක්කුව පිරවීමට ප්‍රබල දායකත්වයක් දෙන බවය. අනෙක් අතින් ශ්‍රි ලංකාවේ විදේශ විනිමයට විශාල දායකත්වය ලබා දෙන බවය.

සක්‍රිය කාබන් යනු තාපයෙන් හෝ රසායනයන් මඟින් සක්‍රීය ගන්වන ලද කාබන් අංශුය. මේවා නිසි ලෙස සංවිධානය වූ කාබන් පරමාණුවලින් නිර්මාණය වී ඇති අතර සක්‍රීය කාබන්වල පවතින විශේෂිතම ලක්ෂණය වන්නේ එහි පවතින විෂ උරා ගැනීමේ ශක්තියයි. විශේෂයෙන්ම වාතය සහ ජලය පිරිසිදුකරන ක්‍රියාවලියේ දී මෙන්ම ඖෂධ නිෂ්පාදනයේදී ද සක්‍රීය කාබන් නැතිවම බැරි අමුද්‍රව්‍යයක් වන අතර මේ වනවිට බලශක්ති ක්ෂේත්‍රයේදී ද ද සක්‍රීය කාබන් බහුල වශයෙන් භාවිත වෙයි.

විදුලිය මඟින් ධාවනයවන මෝටර් රථවල  බැටරි නිෂ්පාදනයේ දී සක්‍රීය කාබන් එක් අංගයක් ලෙසින් සැලකෙයි. මේවා  නිපදවීමට   පොල් කටු අඟුරුවලට අමතරව වෙනත් කාබනික දැව වර්ගද යොදා ගත හැකිය. හේකාබ් ආයතනය සක්‍රීය කාබන් නිපදවන්නේ පොල් කටු අඟුරුවලිනි. පොල් කටු අඟුරුවලින් නිපදවන සක්‍රීය කාබන් ලෝක අවශ්‍යතාවයෙන් සියයට 15ක් තරම් විශාල කොටසක් සපුරාලන්නේ  මෙම ආයතනයයි. ඔවුන්ට මේ සඳහා ශ්‍රි ලංකාවේ පමණක් නොව ඉන්දුනීසියාව සහ තායිලන්තයේ ද කර්මාන්ත ශාලා ඇත.

වර්තමාන ලෝක ප්‍රවණතා තුළ පොල් කටු අඟුරු රන් ආකාර ලෙස ආයොජකයන් හඳුන්වන්නේ මේ නිසාය. අඟුරු යනු කාබන්ය. කාබන් අංශුවල විස නැසීමේ හැකියාවක් ඇත. එයින්ද පොල් කටු අඟුරු මේ සඳහා විශේෂිත දායකත්වයක් සපයන්නේය. අපේ පැරන්ණෝ දත් මැදීම සඳහා දැව අඟුරු භාවිත කළහ. මේ වනවිට ලෝකයේ ඉහළ ඉල්ලුමක් සහිත මුඛ සහ දත් පිරිසිදු කාරකයක් වන්නේ සිහින් ලෙස අඹරා ගත් පොල් කටු අඟුරු කුඩුය. අන්තර්ජාලයේ සෙවීම් කළහොත් පොල් කටු අඟුරුවලින් නිපදවන ලද දත් සුදු කිරීමේ ද්‍රව්‍ය (Coconut Charcoal Tooth Whitener) සන්නාම රැසකින් දැකිය හැකිය. මේවා සාපේක්ෂව ඉහළ මිලකට අලෙවි වන අතර ඒ සියලුම නිෂ්පාදන ඉදිරිපත් වන්නේ අපේ රටෙන් නොව වෙනත් රටවලිනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අදටත් පොල් සඳහා අප රට තුළ ඇත්තේ ඉහළ ඉල්ලුමකි. අද මේ ඉල්ලුම අනුව නිවසකට පොල් ගෙඩියක් එදාවේලට ගත නොහැකි තරමට මිල ඉහළ ගොස් ඇත. දැන් ලෝකය යන අත අනුව පෙනෙන්නේ පොල් කටුව ඊටත් වඩා මිල ඉහළ යන තරම් ඉල්ලුමක් එන බවය. එහෙත් ලෝකය යන වේගයට අපේ රටේ පොල් කර්මාන්තය ඉදිරියට යන්නේ යන්න ගැටලුවකි.

Exit mobile version