කෝටි 2170ක ඉන්ධන ස්ථායීකරණ අරමුදල අහෝසි කරන්න සූදානම්… විගණනය හෙළි කරයි!

මේ වනතුරු පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන නැත්තේ අහෝසි කරන්න සූදානම් නිසා... පාලන අධිකාරිය කියයි!

ලලිත් චාමින්ද –

ලෝක වෙළඳපොළේ  ඉන්ධන මිල අඩුව තිබෙන විට  ඉන්ධන ආනයනයේ දී  ශ්‍රි ලංකා රේගුව විසින්  අධිභාරයක් අයකර  පැවති මිලටම ඉන්ධන අලෙවි කර 2020 වර්ෂයේ මාර්තු මස සිට  දෙසැම්බර්මස දක්වා කාලය තුළ  ඉන්ධන ස්ථායිකරණ අරමුදල සඳහා රුපියල් කෝටි විසි එක් දහස් හැත්තෑවකුත් පනස් නව ලක්ෂ දාහතර දහස් හාරසිය හැට දෙකක් ( 21,705,914,462) ක ශුද්ධ අධිභාර ආදායමක් උපායාගෙන තිබු බව  ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

ඒ අනුව 2020 වර්ෂයේ දි අරමුදලේ මෙහෙයුම් ප්‍රථිපලය  රුපියල් 21,705,911,662ක අතිරික්තවයක් වී ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

මිල ස්ථායිකරණ අරමුදල ඇති කිරීමේ අපේක්ෂිත අරමුණවිය යුත්තේ  මිල වැඩිවිමේ දී හා අඩුවිමේ දී  සිදුවන මිල උච්චාවනයන් සමනය කරගැනිම බව ද විගණන වාර්තාවේ සදහන් කොට ඇත.


එසේ මිල උච්ඡාවනයන් සමනය කොට  දේශිය වෙළදපොළේ ඉන්ධන සම්බන්ධයෙන්  ස්ථාවර මිලක් පවත්වාගැනීම වුවද  මෙම අතිරික්තය  දේශීය මිල  ස්ථායිව පවත්වාගෙන යාම සදහා  ද්‍රවශීල වත්කමක් ලෙස  පවත්වාගෙන යාමක් පිළිබඳ  අමාත්‍යමණ්ඩල සංදේශයේ හෝ අනුමැතියේ  සඳහන් නොවූ බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

කෙසේවුවද  අනුමැතිය පරිදි  අරමුදලේ රුපියල් බිලියන 48ක මුදල් විදුලිබල මණ්ඩලය වෙත ප්‍රාග්ධන දායකත්වයක් ලෙස  ලබාදී එය මුල්‍ය තත්ව ප්‍රකාශනයේ  කෙටිකාලින ආයෝජන  යටතේ දක්වා තිබුණ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම  විසර්ජන පනතට අනනුකූලව ආදායම් රැස්කිරීම හා වියදම් දැරීම සඳහා  2020 මාර්තුමස 18 දින මෙම අරමුදල ආරම්භ කර තිබුණි. කෙසේවුවද  ඒ සඳහා වර්ෂයක් ඇතුළත පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගත යුතුව තිබුණි. එහෙත් විගණිත දිනය වු 2021 සැප්තැම්බර් මස 06 දින වන විටත්  ඒ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගෙන නොතිබුණි.

මේ සම්බන්ධව  විගණනයට කළමණාකාරිත්වයේ අදහස් දැක්විමේ දී සඳහන්කොට ඇත්තේ  මෙම අරමුදල අහෝසි කිරීම සඳහා  කඩිනමින් ඉදිරියේ දී  කැබිනට් මණ්ඩලය වෙත යෝජනාවක්  ඉදිරිපත් කිරීමට  යොජිතව ඇති බවය.

ඒ සඳහා  අනුමැතිය ලබාගැනිමෙන් පසු රාමු චක්‍රලේඛ 01/2020 පරිදි 2022 අයවැයෙන් අරමුදල පිහිටුවීම  එහි ගනුදෙනු හා වගකීම් පියවීම සම්බන්දයෙන්  මහා භාණ්ඩාගාරය මගින් භාරගැනීම, ඈවරකිරීම, යනාදිය ඇතුළත්ව  අරමුදලේ සියලු කටයුතු සම්බන්ධව  පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට නියමිතව ඇතිබවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්ධන මිල ස්ථායිකරණ  අරමුදලේ 2020 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා  මුල්‍යතත්ව ප්‍රකාශනය සම්බන්දයෙන් මෙකී විගණනය සිදුකොට තිබුණි.

Exit mobile version