කොවිඩ්වලට අභියෝග කර ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 02ක වත්කම් පසුකළ ඇපල්

දැනට එවන් වත්කමක් සහිතව ලොව සිටින එකම සමාගම ඇපල්....

චතුර රුවන් වීරක්කොඩි –

පහුගිය බදාදා මුල්ම වරට ඇමෙරිකානු සමාගමක වටිනාකම ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන දෙක පසුකරන ලදී.
ඇමෙරිකානු වේලාවෙන් බදාදා උදේ 11 වනවිට ඇපල් සමාගමේ එක් කොටසක මිල ඇමෙරිකානු ඩොලර් 466.77ක් වී තිබුණි. ඒ අනුව Aramco, Microsoft, Amazon යන තරගකාරී සමාගම් පරදවමින් මේ වනවිට ට්‍රිලියන දෙකක වත්කම් අගයක් පෙන්වන ලොව එකම සමාගම ඇපල් සමාගම වේ. ඇපල් සමාගමේ විශේෂත්වය නම්  2018 දී ට්‍රිලියනයේ සීමාව පසුකරන ලද ලොව මුල්ම සමාගම බවටද පත්ව තිබීමයි.
2018 සිට 2020 දක්වා වසර දෙකක කාලයක් තුළ තවත් ට්‍රිලියනයකින් සමාගමේ වටිනාකම ඉහළ නංවාගැනීමට සමත් වීම තුළින් පාරිභෝගිකයන් ඇපල් සමාගම කෙරෙහි තබා ඇති අඛණ්ඩ විශ්වාසය පැහැදිලි කරගත හැක. කෙසේ වෙතත් ට්‍රිලියන දෙක පසුකරන ලද මුල්ම සමාගම ඇපල් නොවන අතර ඒ 2019දී එතැනට පත් සෞදි අරාබියේ Aramco සමාගමයි. නමුත් කොවිඩ් අර්බුදයත් සමඟින් තෙල් මිල පහත වැටීම නිසා එහි වටිනාකම ඇ.ඩො. ට්‍රිලියන 1.8 දක්වා පහත වැටුණි.
කොවිඩ්- 19 සමාගම්වලට අහිතකර බලපෑම් එල්ල කළද ඇපල් සමාගමට කොවිඩ් -19 ආශිර්වාදයක් වූ බැව් ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි. එයට හේතුව තාක්ෂණය හරහා නිවෙස්වලම සිට රාජකාරී කරන්නන්ගේ ප්‍රමාණය වැඩිවීමයි. Apple සමාගම පමණක් නොව තාක්ෂණය සමඟ ගමනක් යන Amazon, Microsoft, Google වැනි සමාගම් වලද කොටස් අගය හා ලාබය ඉහළ ගොස් ඇති බව රහසක් නොවේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


Apple සමාගම ජූලි මාසයේ තුන්වන කාර්තුවට අදළව නිකුත් කළ වත්කම් හා ලාභාලාභ ප්‍රකාශයට අනුව සමාගම කාර්තුව තුළ උපයා ඇති ලාබය ඇ.ඩො. බිලියන 59.7කි. ඒ අනුව Apple සමාගමේ කොටසක අගය ඇ ඩො. 250කට ආසන්න අගයකින් ඉහළ ගොස් සමස්ත වටිනාකම ඇ.ඩො. ට්‍රිලියන 2 පසු කරන ලදී.

Exit mobile version