ඔක්තෝබරයේ උද්ධමනය සුළු වශයෙන් පහළ යයි

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, ඔක්තෝබර් මාසයේ දී සියයට 5.5 දක්වා පහළ ගොස් ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව පවසයි.

එය සැප්තැම්බර් මාසයේ සියයට 6.4ක් විය. 2019 ඔක්තෝබර් මාසයේ පැවති ඉහළ පදනම් අගය මගින් ඇති වූ සංඛ්‍යානමය බලපෑම මේ සඳහා හේතු විය.

මේ අතර, ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 12.7හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 10.6 දක්වා පහළ ගියේය.


එසේ වුවද, ආහාර නොවන කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 1.4හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 1.5 දක්වා සුළු වශයෙන් ඉහළ ගියේය.

2020 ඔක්තෝබර් මාසයේ දී ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මාසික වෙනස සියයට 0.1ක් ලෙස වාර්තා වූ අතර, ආහාර කාණ්ඩයෙහි අයිතමවල දක්නට ලැබුණු මිල ඉහළ යෑම් මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු විය.

ඒ අනුව, 2020 ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩයේ, ප්‍රධාන වශයෙන්, ලොකු ළූණු සහ සහල් මිල ගණන්වල ඉහළ යෑමක් දක්නට ලැබුණි. එසේ වුවද, පළතුරු සහ නැවුම් මත්ස්‍ය මිල ගණන්හි පහළ යෑමක් වාර්තා විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවද, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත මූලික උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 4.8හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.5 දක්වා පහළ ගිය අතර, වාර්ෂික සාමාන්‍ය මූලික උද්ධමනය 2020 සැප්තැම්බර් මාසයේ දී පැවති සියයට 4.3හි සිට 2020 ඔක්තෝබර් මාසයේ දී සියයට 4.2 දක්වා සුළු වශයෙන් පහළ ගියේය.

Exit mobile version