21 දා සිට සංචාරකයන්ට රට විවෘතයි… දිනකට 2500ක් ගෙන්වන සැලසුමක්…

සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග ක්‍රමවේදය කියයි...

බ්‍රහස්පතින්දා ( 21 ) සිට රට සංචාරකයින් සඳහා විවෘත කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග අද මාධ්‍ය ප්‍රධානීන් අමතමින් පැවසීය.  

නියමිත සෞඛ්‍ය නිර්නායක හා මාර්ගෝපදේශ අනුගමනය කරමින් දිනකට සංචාරකයන් 2500ක් රට තුළට රැගෙන ඒමට කටයුතු කරන බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ තීරණය ගනු ලබන්නේ රටට ප්‍රධාන වශයෙන්ම විදේශ විනිමය රැගෙන එන ආර්ථික සම්පතක් නිසි පරිදි කළමනාකරණය කර ගැනීමටත් සංචාරක ව්‍යාපාරයෙන් යැපෙන ලක්ෂ 30කට ආසන්න පිරිසක් වෙනුවෙන් රජයක් හැටියට ජාතික වගකීමක්  ඉටු කිරීමටත් බව ඔහු පැවසීය.


දැනට සකස් කර ඇති සෞඛ්‍ය නිර්ණායක අනුව සංචාරකයන්ගෙන් සමාජයටත් සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් සම්ප්‍රේක්ෂණය වීම වැළැක්වීමට ගත හැකි සියලුම පියවර ගෙන ඇති බවත් ඇමතිවරයා කීවේය.

ඇමතිවරයා වැඩි දුරටත් කීවේ නියාමන ව්‍යාපෘතිය ලෙස  යුක්රේන් සංචාරකයන් ගෙන්වූ වැඩසටහනට කුමණ ආකාරයේ විවේචන පැමිණියත් එහි සිදුවුණු අඩුපාඩු වැරදි සහිත අත්දැකීම් නව සෞඛ්‍ය මාර්ගෝපදේශනය සකස් කිරීමට මහත් පිටිවහලක් වූ බවය.

නවාතැන් ගන්නා හෝටල්  

රටට ආවේනික නිවැරදි මාර්ගෝපදේශනයක් යටතේ සංචාරකයන් රට තුළට රැගෙන ඒමටත්, නවාතැන් ගැනීම සඳහා හෝටල් 180ක් හඳුනා ගැනීමටත් සැලසුම් කර ඇති බව සංචාරක ඇමතිවරයා පවසයි. එම හෝටල් සෞඛ්‍ය මාර්ගෝපදේශනය ආරක්ෂා කරන බවට සහතික ලත් හෝටල් ය. සංචාරක ප්‍රවර්ධන අධිකාරිය එම සහතිකය නොමිලයේ හෝටල් වෙත ලබා දීමට කටයුතු කර තිබේ.

රට තුළට සංචාරකයන් ඇතුළු කරගන්නා ක්‍රමවේදය

21 වැනිදායින් පසු මෙරටට එන සංචාරකයින් සංචාරක බුබුලක් සේ ක්‍රියාත්මක වීමට නියමිතය.

පැමිණ පැය 72කින් ඔවුන් පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කරනු ලබයි. රටට ඇතුළු කරගන්නේ කොවිඩ් ආසාදිත නොවන බව තහවුරුවන සංචාරකයින් පමණි.

සියලුම සංචාරකයින් හෝටලටය යන්නට පෙර තවත් පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කරනු ලබයි. එහි ප්‍රතිඵල ලැබෙන තුරු අදාල සංචාරකයින් එම හෝටල් තුළම තබයි. දින 5-7 අතර තවත් පී.සී.ආර් පරීක්ෂණයකට ඔවුන් ලක් කරනු කරයි. හඳුනාගත් සංචාරක කලාප 14ක ඔවුන් සංචාරය කරවන්නේ ඉන් පසුවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සංචාරකයන් පැමිණෙන හෝටල්වල කාර්ය මණ්ඩලය ද මෙම සංචාරක බුබුලට අයත්වන අතර ඔවුන්ට ද සාමාන්‍ය සමාජය හා ගැවසීමට ඉඩක් නැතැයි ඇමතිවරයා පවසයි.

 

Exit mobile version