හිජාස් හිස්බුල්ලාට මද්‍රාසා පාසල් සිසුන් අතර ආගම් වෛරය පැතිරවීම ඇතුළු අධිචෝදනා 5ක්

නීතිඥ හිජාස් හිස්බුල්ලාට සහ අල් සුහාරියා මද්‍රසා පාසලේ විදුහල්පති සලීම් ඛාන් මොහොමඩ් ෂකීර් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා 5ක් යටතේ අද(12) අධිචෝදනා ගොනුකර තිබේ.

නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරිනී රජයේ අධි නීතීඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ ආඥා පනත සහ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ පුත්තලම මහාධිකරණය වෙත අදාළ අධි චෝදනා ගොනු කර ඇති බවයි.

මෙහි හිජාස් හිස්බුල්ලා සහ සලීම් ඛාන් මොහොමඩ් ෂාකීර් කුමන්ත්‍රණය කිරීමට අදාණ අධිචෝදනාවක් ඉදිරිපත් කර ඇත. එනම් වර්ෂ 2018 අගෝස්තු 01 වැනිදා සහ 31 වැනි දා තෙක් පුත්තලම අල් සුහාරියා මද්‍රාසා පාසලේ අධ්‍යාපනය ලබන සිසුන්ට හිජාස් හිස්බුල්ලා විසින් “ඊශායලයේ ක්‍රිස්තියානි කට්ටිය අල්ලගෙන ඉන්නේ අපේ පල්ලි. ලංකාවේ කතෝලික අයට ගැහුවොත් තමයි ඒ කට්ටිය බයවෙන්නේ” යනුවෙන් පවසා ඊශ්‍රායලයේ හා පලස්තීනයේ දෙපිරිසක් අතර යුධමය ගැටුමක් අඩංගු වීඩියෝපටයක් පෙන්වා එදිරිවාදී හැගීම්, ආගමික අසංහතිය ඇතිකිරීමේ දේශනයක් අල් සුහාරියා මද්‍රාසා විද්‍යාලයේ සිසුන්ට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්, කියනු ලබන වචන මගින් හෝ දෘශ්‍ය නියෝජන මගින් ආගමික කණ්ඩායම් අතර, එදිරිවාදී හැගීම් ඇතිවීමට සැලැස්වීම හා ඒ පිළිබද දේශනයක් පැවැත්වීම සහ ඊට කුමන්ත්‍රණය කිරීම යටතේ ත්‍රස්තවාදය වැළැක්වීම පනතේ චෝදනා ඉදිරිපත් කර ඇත.


සලීම් ඛාන් මොහොමඩ් ෂාකීර් සම්බන්ධයෙන් හිජාස් හිස්බුල්ලාට මෙම වරදවල් කිරීම සදහා ආධාර කිරීම යන වරද යටතේ ද හිජාස් හිස්බුල්ලා සිසුන් අතර ප්‍රචණ්ඩ ක්‍රියාවලට පෙළඹවීමෙන්, ආගමික වෛරය ඇතිකිරීමෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත යටතේ ද චෝදනා ඉදිරිපත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අධිචෝදනා පත්‍රයේ සාක්ෂිකරුවන් 75ක් මේ පිළිබද සාක්ෂි ලබාදීමට නම් කර ඇති අතර සාක්ෂි ලැයිස්තුවේ ලේඛන 17ක් නම් කර ඇත.

Exit mobile version