හරිම උපදෙස ජනපතිගෙන්… “අත්‍යාවශ්‍ය ආහාර තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යන්න …“

සියලුම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග ප්‍රමාණවත්ව පවත්වාගෙන යමින් භාණ්ඩ හිඟයක් ඇති නොවීමට  කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උපදෙස් දී ඇත.

භාණ්ඩ හිඟයක් මවාපාමින් මිල ඉහළ නැංවීමට ඇතැම් ව්‍යාපාරිකයන් සංවිධානාත්මකව දරන උත්සාහය ඉන් වැළැක්විය හැකි බව ජනාධිපතිවරයා  පෙන්වා දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය අද කීවේය.

වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතාවයට අදාළව මුහුණ දෙන අභියෝග සඳහා කඩිනම් විසඳුම් සලසා ගැනීම සම්බන්ධයෙන් අද (02) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේ දී  ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

තොග වෙළෙඳපොළට බෙදාහරින කෘෂි අස්වනු කොටසක් ග්‍රාමීය වෙළෙඳසලට සෘජුවම ලැබීමට සැලැස්විය යුතුයැයි ද එමඟින් සිදුවන ප්‍රවාහන වියදම අවම වීමෙන් ග්‍රාමීය පාරිභෝගිකයාට අඩු මිලකට භාණ්ඩ ලබාගැනීමටත්, ගොවියාට ඉහළ මිලක් ලබාගැනීමටත් හැකි වෙතැයි ද ජනාධිපතිවරයා ලබා දුන් උපදෙස් අතර ඇත.


පවතින තත්ත්වය ප්‍රයෝජනයට ගෙන අසාධාරණ මිල ගණන් යටතේ සිදු කෙරෙන වෙළෙඳාම පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන ලෙසත් ඊට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ජනාධිපතිවරයා පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස්  ලබා දී තිබේ.

දිවයින පුරා පිහිටි සතොස සහ සමූපකාර වෙළෙඳසල් සක්‍රීයව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව සහ වෙළෙඳුන්ගේ අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට ඉඩ නොදී අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල පාලනය කළ යුතු බව දීර්ඝවසාකච්ඡා  කෙරුණු බවත්  ජනාධිපති මාධ්‍ය අංශය දන්වා එවා ඇත.

වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, වෙළෙඳ අමාත්‍යාංශ ලේකම් එස්.ටී. කොඩිකාර   සහ අමාත්‍යාංශයට අයත් රේඛීය ආයතන ප්‍රධානීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.

Exit mobile version