හදිසි නීතිය අවලංගු කරන්න… නීතිඥ සංගමය ජනපතිගෙන් ඉල්ලයි

Saliya Peris

රටේ මේ වනවිට උද්ගත වි ඇති තත්ත්වයට හදිසි නීතිය පිළිතුරක් නොවන බැවින් හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම අවලංගු කරන ලෙස ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා සිටී.

හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීම මෙරට දේශපාලන ස්ථාවරත්වය යථා තත්වයට පත් කිරීමට පහසුවක් නොවනු ඇති බව ද එම සංගමය පෙන්වා දෙයි. ප්‍රකාශනයේ නිදහස සහ සාමකාමීව රැස්වීමේ නිදහස ජනතාවගේ මූලික අයිතිවාසිකම් වන අතර, අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම සහ රඳවාගැනීම සඳහා හදිසි නීතිය භාවිත නොකළ යුතු බව ද එම සංගමය අවධාරණය කරයි.

1959 අංක අට දරණ පනතින් සහ ජාතික ආරක්ෂක සභාවේ 1978 අංක හය දරණ පනතින් මෙන්ම 1988 අංක 28 දරණ පනතින් මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තියට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හදිසි නීතිය ප්‍රකාශයට පත් කිරීමට පියවර ගනු ලැබුවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රට තුළ හදිසි අවස්ථා තත්වයක් පැවතීම හේතු කර ගනිමින් මහජන ආරක්ෂාව සහ රටේ යථා පැවැත්ම සුරක්ෂිත කිරීම මෙන්ම මහජන ජීවිතයට අත්‍යවශ්‍ය සැපයීම් හා සේවා පවත්වාගැනීම සඳහා හදිසි නීතිය අවස්ථානුකූල යැයි හැඟීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

Exit mobile version