සියලුම රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන්ට අභියෝගයක්… මාස තුනකින් ආයතන ලාභ පෙන්විය නොහැකිනම් රස්සාව ඉවරයි….

අලුත් මාධ්‍ය සංස්කෘතියක් හැදීම රාජ්‍ය මාධ්‍යයෙන් ආරම්භ කරන බව ජනමාධ්‍ය ඇමති බන්දුල කියයි...

නව ජනමාධ්‍ය සංස්කෘතියක් ඇතිකිරීම වෙනුවෙන් මාධ්‍ය ක්ෂේත්‍රයේ පුලුල් වෙනසක් සිදුකළ යුතුව ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන ලංකාසරට පැවසීය.

පසුගිය දා රටේ ඇතිවූ ගිනිතැබීම් හා කළහකාරී සිදුවීම් වර්ධනය වීමට මාධ්‍ය භාවිතය ඍජුව හෝ වක්‍රව බෙහෙවින්ම  දායක වූ බව    පවසන ඇමතිවරයා ඒ තත්ත්වය වෙනස් නොකළහොත් රට භයානක තත්ත්වයකට පත්වීම වැළැක්විය නොහැකි බව පැවසුවේය.

සත්‍ය තොරතුරු සත්‍ය ආකාරයෙන්ම ජනතාවට දැන ගැනීමට තියන අයිතිය ඒ අයුරින්ම තහවුරු කිරීම මාධ්‍යවේදීන්ගේ මෙන්ම මාධ්‍ය ආයතනවල වගකීම බවත්, පසුගිය කාලය තුළ රාජ්‍ය මාධ්‍යයෙන් පවා එය මගහැරී ගොස් ඇති අන්දමත් ඇමති බන්දුල ගුණවර්ධන පෙන්වා දුන්නේය.

රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග සාකච්ඡා කර ලබන සඳුදා හෝ අඟහරුවාදාවනවිට අවසන් තීරණයකට එළඹෙන බව හෙතෙම සඳහන් කළේය.


රටේ උද්ගතව ඇති ආර්ථික අර්බුදය හමුවේ  රාජ්‍ය මාධ්‍ය නඩත්තු කිරීමට භාණ්ඩාගාරයෙන් මුදල් ඉල්ලීමට නොහැකි බවත් ඒ තත්ත්වය මත සියලු රාජ්‍ය මාධ්‍ය ආතන ලාභ ලබන ආතයන බවට පත්කළ යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.

මේ අනුව සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට වගකීම් පැවරෙන ක්‍රමයක් ඉදිරියේ දී ක්‍රියාත්මකවන අතර තම ආයතනය ලාභ ලබන තැනට පත් කිරීමේ වැඩපිළිවෙළක් මාධය ප්‍රධානීන් ක්‍රියාවට නැන්විය යුතු බවත් ඔහු අවධාරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යම් මාධ්‍ය ආයතනයක ප්‍රධානියෙක් එම ඉලක්ක සපුරාලීමට නොහැකි වුවහොත් ඔහු එම තනතුරින් ඉවත් කිරීමට  කටයුතු රකන බවත් ඇමතිවරයා කීවේය.

Exit mobile version