ෂාෆ්ටර් අබිරහස් ලෙස මරණයට පත් වූ ස්ථානයේ ආගන්තුක ජෛව සාම්පලයක්… CID ය අධිකරණයට දන්වයි…

Dinesh-Shafter

ඒ.ජේ.ඒ අබේනායක –

පසුගිය දෙසැම්බර් 15 වැනිදා අබිරහස් ලෙස මියගිය  කෝටිපති ව්‍යාපාර නායක දිනේෂ් ෂාෆ්ටර්  බොරැල්ල පොදු සුසාන භූමියේ ඔහුගේ කාර් රථය තුළ සිටියදී සොයාගන්නා විට ඔහුගේ දෑත් ගැටගසා තිබූ ටයිපටියේ, ගෙල සිරකර තිබූ වයරයේ හා කාර් රථය තුළ තිබූ බෝතලයක මරණකරුගේ ජෛව සාම්පලවලට අමතරව තවත් ආගන්තුක ජෛව සාම්පලයක් ඇති බව රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව දන්වා ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (15) අධිකරණයට වාර්තා කළේය.

මේ පැහැදිලි කිරීමත් සමග අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න කරුණු දක්වමින් මෙම තත්ත්වය යටතේ යම් හෙයකින් මරණකරුගේ මරණය සම්බන්ධයෙන් නැවතත් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් පැවැත්වීමට සිදුවුවහොත් එකී සාම්පල වැදගත් විය හැකි බව අධිකරණයට පෙන්වා දුන්නේය.

ඒ අනුව  එම ආගන්තුක ජෛව සාම්පල කාගේ දැයි හඳුනාගැනීම සිදුකරන පරීක්‍ෂණ සඳහා ලබන 20 වැනිදා රජයේ රස පරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් වී සාම්පල ලබාදෙන ලෙසට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්‍ද්‍රා ජයසූරිය ඊයේ (14)   මරදාන පොලිසියේ සොකෝ අංශයේ නිලධාරියකු, බොරැල්ල පොදු සුසාන භූමියේ ආරක්‍ෂක නිලධාරිවරයකු ඇතුළු සිවුදෙනකුට නියෝග කළාය.

තවද දිනේෂ් ෂාෆ්ටර්ගේ  ශරීරයෙන් ලබාගත් ලේ සාම්පල හා ශරීර කොටස් විනාශ නොකර සුරක්‍ෂිතව තබා ගන්නා ලෙසට ද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්වරිය   කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට හා රජයේ රස පරීක්‍ෂකවරයාට නියෝග කළාය.


එම මරණකරු පසුගිය දෙසැම්බර් 15 වැනිදා පස්වරුවේ රෝහල්ගත කිරීමෙන් අනතුරුව ඔහු රඳවා සිටි ඇඳේ ඇඳ හිසපත් අංකය හා ඔහුට ලබාදුන් වෛද්‍ය ප්‍රතිකාර ඇතුළ තොරතුරු වහාම තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට  ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය කොළඹ ජාතික රෝහලේ  අධ්‍යක්‍ෂවරයාට හා අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කළාය.

එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට පෙර, පවත්වන අවස්ථාවේදී හා ඊට පසු එම ශරීරය ඡායාරූපගත කළ ඡායාරූප හා වීඩියෝගත කළ වීඩියෝ  දර්ශන ඇත්නම් ඒවා ද තම අධිකරණයට ඉදිරිපත් කරනා  ලෙසට අතිරේක මහෙස්ත්‍රාත්වරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට හා අපරාධ ස්ථාන පරීක්‍ෂණාගාරයේ ස්ථානාධිපතිවරයාට (සොකෝ) නියෝග කළාය.

එම නඩුව ලබන 17 වැනිදා යළි කැඳවීමට ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය එහිදී වැඩිදුරටත් නියෝග කළාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයින –

Exit mobile version