ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබිය යුතු මිලියන 29ක් ඇමෙරිකන් ගිණුමක!

සී.අයි.ඩියෙන් පරීක්ෂණයක්

2018 වසරේදී දකුණු අප්‍රිකා – ශ්‍රී ලංකා ක්‍රිකට් සංචාරයට අදාළව අනුග්‍රාහක අයිතිය වෙනුවෙන් ලැබිය යුතු ආදායම වූ රුපියල් මිලියන 29 ක මුදලක් ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයට නොලැබී එය ඩයමන් චැනල් නැමැති ඇමෙරිකානු ගිණුමකට බැර වී ඇති බවත් ඒ පිළිබඳව මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශණයක් ආරම්භ වී ඇති බවත් ඊයේ (06) පැවැති පොදු ව්‍යාපාර ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාර්ක සභාවේදී (කෝප් කමිටුවේදී) අනාවරණය විය. මෙම මුදල් මෙතෙක් අයකර නොගෙනීම සම්බන්ධව කාරක සභාව ප්‍රශ්න කළ අතර, ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමර්ශනයක් මේ වන විට ආරම්භ වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා කාරක සභාවට දැන්වීය.

මේ සම්බන්ධව පරීක්ෂණයක් පවත්වා එහි වාර්තාව මාස 03 ක් ඇතුළත කාරක සභාවට ලබාදෙන ලෙස සභාපති මහාචාර්‍ය චරිත හේරත් මහතා ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට දැනුම් දුන්නේය. එම මුදල ඩයමන් චැනල් නම් ඇමෙරිකානු ජාතිකයෙකුගේ ගිණුමකට ඇතුළත්ව ඇති බවත්,එය සිදුවූයේ කෙසේද යන්න පිළිබඳව විමර්ශනවලදී අවධානය යොමුව ඇති බවත් කාරක සභාවේදී අනාවරණය විය.

එමෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ හිටපු සාමාජිකයන්ගේ වැරදි ඇත්නම් නෛතික ක්‍රියාමාර්ග ගැනීමට වහාම කටයුතු කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුරාධ විජේකෝන් මහතාට ඊයේ (06) දැන්වීය.


ඒ සඳහා නීතිපතිවරයාගේ සහයද ලබා ගත හැකි බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා අමාත්‍යාංශ ලේකම්වරයාට වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ 2017 සහ 2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ එහි වර්තමාන කාර්‍ය සාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට මෙම කාරක සභා රැස්වීම කැඳවා තිබූ අතර, ඊට අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර,මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක , පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාඨලී චම්පික රණවක, ඉරාන් වික්‍රමරත්න, එස්.එම් මරික්කාර්, නලීන් බණ්ඩාර, ප්‍රේමනාත් සී.දොලවත්ත, එස්. රාසමාණික්කම්, යන මහත්වරු සභභාගී වූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමත කාර්‍ය මණ්ඩලය 162 ක් බවත් ඉන් 123 ක්ම කොන්ත්‍රාත් තනතුරු වීමත් විශාල ගැටලුවක් බව කාරක සභාව පෙන්වා දුන්නේය. මූල්‍ය අංශ ප්‍රධාන, නීති නිලධාරි, තොරතුරු තාක්ෂණ නිලධාරි,අභ්‍යන්තර විගණක යන තනතුරු අනිවාර්යෙන්ම ස්ථීර තනතුරු වියයුතු බවද කාරක සභාව පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රසම්පාදන කටයුතු අවධිමත් වන අතර,එය විධිමත් කිරීම වෙනුවෙන් නිසි ක්‍රමවේදයක් සැකසිය යුතු බවටද කාරක සභාව නිර්දේශ කළේය.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මැදිහත්වීම පවතින තත්ත්වයට වඩා ඉහළ මට්ටමක පැවතිය යුතු බවටද කාරක සභාවේදී සාකච්ජා විය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් ක්‍රීඩා සංගම්වලට මුදල් ලබාදීම සඳහා නිවැරදි ආකෘතියක් සැකසිය යුතු බවටද කාරක සභාව නිර්දේශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ක්‍රීඩා පනත කඩිනමින් සංශෝධනය කළ යුතු අතර, ඒ වෙනුවෙන් වහාම කටයුතු කරන ලෙසද කාරක සභාව ක්‍රීඩා අමාත්‍යාංශයට සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට දැනුම් දුන්නේය.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දැවැන්ත කඩා වැටීමට හේතුව ක්‍රීඩකයන්ගේ වැරදි නොව ක්‍රිකට් පරිපාලනයේ දුර්වලතා බව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මාහාචාර්ය චරිත හේරත් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

Exit mobile version