ශ්‍රී දළදා වහන්සේගේ තේවාව මල්වතු පාර්ශවයට පැවරේ…

sri-dalada-maligawa

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී දළදා වහන්සේගේ උදෙසා සිදු කෙරෙන තේවා කටයුතු අස්ගිරි මහා විහාර පාර්ශව‍යෙන් මල්වතු මහා විහාර පාර්ශවයට පැවරීම මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනමගේ සහ දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ දළදා මැදුරේදී සිදු කෙරිනි.

ඉංග්‍රීසි පාලන සමයේ දළදා වහන්සේගේ පැවිදි භාරකාරත්වය මහා විහාර දෙකේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම වෙත පවරා දීමෙන් පසු ඇතිකරගත් එකඟතාවන් අනුව තේවා කටයුතු වර්ෂයක් පාසා හුවමාරු කර ගනිමින් උභය මහා විහාරීය භික්ෂූන් වහන්සේ විසින් ඉටු කරනු ලබති.

වාර්ෂික වස් එළඹීම සිදුකෙරෙන ඇසළ පුන් පොහෝ දිනට පසුදින මෙම තේවා මාරුව සිදුකිරීම පුරාතනයේ සිට පැවත එන චාරිත්‍රය වන අතර මෙවර දළදා තේවා මුරය අස්ගිරි පාර්ශ්වයෙන් මල්වතු පාර්ශවයට පවරාදීම ඇසළ පුන් පොහෝ දිනට පසුදින එනම් අද ( 24 ) දින සිදු විය.

තේවා මාරුව සිදුවන අවස්ථාවේ දළදා මාලිගාවේ ලේකම්තැන වට්ටෝරු පොත රැගෙන ඉහළ මාලයේ ඇති සියලුම බඩු භාණ්ඩවල ලේඛනය පරීක්ෂා කිරීමෙන් පසු එම වසර සඳහා තේවාවට පැමිණෙන නාහිමි භාණ්ඩ භාර ගැනීම සිදු කරයි. අනතුරුව තේවා මාරුව සිදුවෙයි

තේවා කටයුතු පැවරෙන පාර්ශ්වය නියෝජනය කරමින් ඒ සඳහා සුදුසු භික්ෂූන් වහන්සේ පත්කිරීම සිදුකරනු ලබන්නේ අදාළ පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අනුමැතිය යටතේ ය. ඒ සඳහා වර්තමානයේ භික්ෂූන් වහන්සේ පස්නමක් පත්කරනු ලබන අතර උඩු මහලේ දන්ත ධාතුන් වහන්සේ අබියස තේවා කටයුතු සඳහා තෙනමක් පත් කෙරෙයි.අදාළ පාර්ශ්වයේ කාරක සංඝ සභාව නියෝජනය කරන්නාවූ ජ්‍යෙෂ්ඨ හිමිවරු තෙනමක් මේ සඳහා පත්කෙරෙන අතර ඉන් එක් නමක් දළදා තේවා භාර නායක හිමි ලෙස කටයුතු කරති.

උන්වහන්සේ තේවා කටයුතුවල ප්‍රධානත්වය ගනී. පල්ලේ මාලයට එක් නමක් හා පත්තිරුප්පුවට එක් නමක් වශයෙන් සෙසු දෙනම පත් කෙරෙන අතර උන්වහන්සේලා තේවාව භාර පාර්ශවයේ නේවාසික උපසපන් භික්ෂූන්වීම අනිවාර්යය සාධකයකි. ආගමික කටයුතු කෙරෙහි දක්ෂතාව ඇති ශ්‍රද්ධා සම්පන්න ව්‍යක්ත ප්‍රතිබල භික්ෂූන් වහන්සේ සඳහා පමණක් මෙම උතුම් අවස්ථාව හිමිවෙයි.

අද සිට ඉදිරි වසර දක්වා තේවාව භාර ප්‍රධාන නායක ස්වාමීන්වහන්සේ වන්නේ මල්වතු පාර්ශවයේ කාරක සංඝ සභික තිබ්බටුවාවේ මේධංකර ස්වාමීන්වහන්සේය.

සෙසු ස්වාමීන්වහන්සේවරුන් වන්නේ මහනුවර සංඝරාජ පිරිවෙනේ පරිවේණාධිපති මිනිගමුවේ රතනපාල ස්වාමීන්වහන්සේ, උඩගල්දෙබොක්කේ ගුණානන්ද ස්වාමීන්වහන්සේ, රඹුක්වැල්ලේ නන්දාරාම ස්වාමීන්වහන්සේ සහ පහමුණේ ගුණානන්ද ස්වාමීන්වහන්සේ ය.

තේවා කටයුතු වෙනුවෙන් මහා සංඝරත්නයට සහායවීම පිණිස දියවඩන නිළමේතුමන් විසින් නිල වශයෙන් ගිහි පිරිසක්ද පත් කිරීම අතීතයේ පටන් එන චාරිත්‍රයකි.

Exit mobile version