ශ්‍රිලනීපය සමඟ පක්ෂ 11ක් සාකච්ඡාවක විමල්, වාසු, උදය, ටිරාන් සමග අතාවුල්ලාත් ඇවිත්

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ 11ක් ඊයේ රැස්වී රජයේ ඉදිරි කටයුතුවලදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ ව සාකච්ඡාවක් පවත්වා තිබේ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම සාකච්ඡාව නිදහස් පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වී ඇති අතර ඉදිරි පළාත් සභා මැතිවරණය ඇතුළු මැතිවරණවලදීත් රජයේ ඉදිරි කටයුතුවලදී ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පුළුල්ව සාකච්ඡා වී ඇතැයි ඊට සම්බන්ධ අරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සාකච්ඡාව සම්බන්ධයෙන් රජයේ ප්‍රධාන පක්ෂය වන පොදුජන පෙරමුණේ ප්‍රබලයන් ගේ ද අවධානය යොමුව ඇති අතර ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ රජය නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ පාර්ශ්ව ගණනාවක් එම සාකච්ඡාවට ඊයේ සහභාගී වීමය.

මෙම සාකච්ඡාව සඳහා පොදුජන පක්ෂයෙන් කිසිදු නියෝජිතයකු සහභාගී වී නොමැති අතර අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, අමාත්‍ය උදය ගම්මන්පිල, , වාසුදේව නානායක්කාර,ටිරාන් අලස්, ඒ.එල්.ඒ.එම් අතාවුල්ලා, ඩියු ගුණසේකර යන දේශපාලකයන් ඊට සහභාගී වී ඇති බව සඳහන් වේ.


ඔවුන් මූලික වශයෙන් ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එම මැතිවරණය පැවැත්වීමට කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡා කොට තිබේ. දැනට රජය පාර්ශ්වයෙන් ඉදිරිපත්ව තිබෙන යෝජනා සම්බන්ධයෙන් වෙනස් මතයක් දරන ඔවුන් එහිදී එකඟ වී ඇත්තේ ඉදිරි පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට එනම් නව ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවය.

එසේම දැනට යෝජනා වී ඇති දිස්ත්‍රික්ක මත ලබන ආසන මත බෝනස් මන්ත්‍රි ආසන ලබා දීමේ යෝජනාවටද ඔවුන් පොදුවේ විරෝධතාව පළ කොට ඇත. මේ සියලු යෝජනා ලබන 19 වැනිදා මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ඉදිරිපත් කිරිමට ඔවුන් ඊයේ තීරණය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම මැතිවරණය ඇතුළු කටයුතුවලදී පොදුවේ මෙම පක්ෂ සියල්ල එක්ව කටයුතු කොට ඉදිරියේදී යම් පොදුජන පෙරමුණට යම් බලපෑමක් කළහැකි මට්ටමේ එකමුතුවක් ගොඩනැගීම මෙම ක්‍රියාමාර්ගවල අරමුණ බව පෙනෙන්නට තිබෙන බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශපාලන නියෝජිතයෙක් ලංකාසරට පැවසීය.

Exit mobile version