“වෙන්ට පොලිස්පති“ පොරය නිම වන ලකුණු !

පොලිස්පතිවරයාට පසුව ශ්‍රී ලංකා පොලිසියේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වූ  ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස්පතිගෙන් පසු පොලිසියේ ඇති ඉහළම නිලය වන පොලිස් පරිපාලන අංශයේ වැඩ ආවරණය කිරීම සඳහා ඊයේ (02) සිට පත් කර තිබේ.

පොලිස්පතිවරයා විසින් මෙම පත්වීම සිදුකරනු ලබන්නේ පොලිස් පරිපාලන අංශ ප්‍රධානියා ලෙස මෙතෙක් සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ පසුගිය 21 වෙනිදා පොලිස් සේවයෙන් විශ්‍රාම ගැනීමත් සමඟ ඇතිවූ පුරප්පාඩුව සඳහා ස්ථිර නිලධාරියෙක් පත්කරන තුරුය.

එම පුරප්පාඩුවට පොලීසියේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන නිලන්ත ජයවර්ධන පත්කරන ලෙස පොලිස්පතිවරයා විසින් සිය නිර්දේශ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මගින් ජාතික පොලිස් කොමිෂන් සභාවටද මේ වන විට ඉදිරිපත් කර තිබේ.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ විශ්‍රාම ගැනීම වෙනුවෙන් පොලිස් මූලස්ථානයේ පසුගිය සිකුරාදා පැවති උත්සවයේදී තමන් දැරූ පරිපාලන අංශ ප්‍රධානී තනතුර ගැන සදහන්කරමින් විශේෂ ප්‍රකාශයක් කළේය.
ඔහු පැවසුවේ මෙම තනතුර පොලිස්පතිගෙන් පසු පොලීසියේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියාට හිමිවිය යුතු බවත් එය පොරකා උදුරා ගැනීමට යාම එතරම් සුදුසු ක්‍රියාවක් නොවන බවත්ය.


එම සභාව අමතමින් පොලිස්පතිවරයා පැවසුවේ තමන් තව තුන් මසකින් විශ්‍රාම යෑමට නියමිත ඇති බවය.   තමන් විශ්‍රාම යන දිනයේ කතාවක් කිරීමට අපේක්ෂා නොකරන බැවින් එදිනට කිරීමට ඇති කතාව මේ මොහොතේ සිදුකරන්නේ යැයි කී පොලිස්පතිවරයා පොලිස්පති ධූරය වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කීප දෙනෙක් අතර ඇති වී ඇති අලජ්ජී පොරය සම්බන්ධව විවේචනාත්මක හෙළිදරව්වක් කළේය. පොලිස්පතිවරයා පැවසුවේ පොලිස්පති ධූරය කොල්ලකා ගත හැකි එකක් නොවන බවය.

නිලන්ත ජයවර්ධන ඊළඟ පොලිස් පරීපාලන අංශ ප්‍රධානියා ලෙස තමා විසින් නම් කර  ඇති බවද එහිදී පොලිස්පතිවරයා පැවසූ බව පොලිස් ආරංචි මාර්ග හෙළි කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයට එක්ව ඇත්තේ ආධුනික සහකාර පොලිස් අධිකාරීවරයෙක් ලෙස 1998 වසරේ පෙබරවාරි 23 වෙනිදාය. මේ වන විට වයඹ පළාත් පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක, බස්නාහිර පළාත් භාර පොලිස් ප්‍රධානියා ලෙස සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන සමඟ එකම දින පොලිස් සේවයට එක්වූ නිලධාරීන්ය.

මේ අය අතරින් නිලන්ත ජයවර්ධන පැවති පුරප්පාඩු අනුව ප්‍රථමයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයට 2019 වසරේ පෙබරවාරි 28 වෙනිදා උසස්වීම් ලබන අතර ලලිත් එස්. පතිනායක 2019 වසරේ නොවැම්බර් 20 වෙනිදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස්වීම් ලබා තිබේ.

දේශබන්දු තෙන්නකොන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිධූරයට උසස්වීම් ලබන්නේ 2020 වසරේ ජනවාරි 01 වෙනිදාය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන 2033 වසරේදීද, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් එස්. පතිනායක 2032 වසරේදීද , ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් 2031 වසරේදීද වයස අවුරුදු 60 න් විශ්‍රාම යාමට නියමිතය.

Exit mobile version