වසර 20ක් වගා කළ කුඹුරුබිම් තහනම් කරලා… ගොවීහු විරෝධතා පුවරු අරන් කුඹුරට බසිති…

මනම්පිටිය නිමල් ජයරත්න –   

වසර විස්සකට ආසන්න කාලයක් සිදුකරගෙන පැමිණි  වී වගාව 2022 වසරේ සිට, ශ්‍රි ලංකා මහවැලි අධිකාරියෙන් සහ වනජීවී දෙපාර්තමේන්තුව මගින්   තහනම් කිරීමට එරෙහිව මහවැලි සී කලාපයේ පහළ යක්කුරේ ගොවීන් පිරිසක් ඊයේ (25) දහවල් එම කුඹුරුයායේ   සාමකාමී විරෝධතාවයක නිරත වූහ.

පහළ යක්කුරේ ප්‍රදේශයේ තමන් වසර විස්සකට අධික කාලයක්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට සහ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවට ජලබදු, අක්කර බදු, ලබා දෙමින් රජයේ පොහොර සහනාධාරයද ගෙන 2022 දක්වා යල මහා දෙකන්නයේ වී කළ බව ගොවීහු කීහ

2022 සිට ප්‍රදේශයට යෑම වෙහෙරගල වනජීවී කාර්යාල මගින් තහනම් කරමින් වගාව නවතාලීමට කටයුතු කිරීම බරපතළ අසාධාරණයක් බව අසාධාරණයට පත් ගොවීහු පැවසූහ.

තමන් මේ පිළිබඳ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සහ වනජීවී දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් සාකච්ඡා කර වි වගාව කිරීමට අවස්ථාව ලබාදෙන ලෙස පොරොන්දු වුවද කිසිවක් සිදුනොවන බවත්,     වසර දෙකකට ආසන්න කාලයක්   කුඹුරු පුරන් වී ඇති බවත්, ගොවීහු පවසති.


තමන් වගා කරන ලද කුඹුරු සඳහා  ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන්  වෙනම වාරි ඉඩම් අංකයක් ලබා දී ඒ සඳහා පොහොර සහනාධාරය ලබා දීමටද අනුමැතිය ලබා දී ඇති ඇතැයි ද ඔවුහු කීහ.

අප මේ පිළිබඳව වනජීවී දෙපාර්තමේන්තුවේ වෙහෙරගල වනජීවී කාර්යාලයෙන් දුරකතනයෙන් කළ විමසීමකදී එහි නිලධාරියෙකු සඳහන් කළේ එම ගොවීන්  හඳපාන්විල විල්ලුවේ පේරක කලාපය අනවසරයෙන් වසර ගණනාවක සිට අස්වදමින් වී වගාව කරන නිසා ඔවුනට විරුද්ධව නීතියානුකූලව පියවර ගැනීමට කටයුතු කර ඇති බවයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වසර 19 ක කාලයක් වී වගා කරන එම ගොවීන්ගේ ගැටලුව සම්බන්ධව ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ මහවැලි සී කලාපීය නේවාසික ව්‍යාපාර කළමනාකාර නොයෙල් ජයසිරිගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ එම කුඹුරු සඳහා පවතින මායිම් ගැටලුව නිරවුල් කර ඉදිරියේදී එම කුඹුරු වගා කිරීමට ගොවීන්ට අවස්ථාව සලසා දීමට පියවර ගනිමින් සිටින බවයි.

Exit mobile version