“ලබන වසරෙත් වාහන ආනයනයත් බෑ.. අලුතින් රාජ්‍ය සේවකයන් ගන්නෙත් නෑ” – බැසිල්

ලබන වසරේදී ද වාහනය ආනයනය සඳහා අවසර නොදෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

එමෙන්ම රාජ්‍ය සේවයට කිසිදු අතිරේක කාර්ය මණ්ඩල බඳවා නොගන්නා බව ද හෙතෙම අවධාරණය කළේය.

පශූ සම්පත් රාජ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ ‘දියර කිරිවලින් ස්වයංපෝෂිත රටක්’ සඳහා වූ වැඩමුළුවකට සහභාගීවෙමින් මුදල් අමාත්‍යවරයා මෙම කරුණු අනාවරණය කළේය.


“මෙවර අයවැය සම්මත වුණොත් අපිට රට තුළ අලුත් වෙනසක් ඇති කරන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. දැනට අපේ රටේ විදේශ විනිමය හිඟයක් තිබෙනවා. අප සතුව තිබූ සංචිතවලින් අත්‍යවශ්‍ය ආහාර, බෙහෙත්, ඉන්ධන ආනයනය කිරීමටත්, විදේශ ණය ගෙවන්නටත් වැය වුණා.

විශේෂයෙන් පසුගිය වසරක කාලය තුළ මෙරටට විදේශ විනිමය ගලා ඒම විශාල වශයෙන් අඩුවෙලා. පසුගිය කාලයේ වසරකට විදෙස් ශ්‍රමිකයන් 2,30,000ක් පිටත් කර තිබෙනවා. පසුගිය වසරේ එය 53,000 දක්වා අඩුවෙලා. ලබන වසරේදී එය ලක්ෂ 3 දක්වා වැඩිකර ගන්න අපි උත්සාහ කරනවා.

අපේ රටේ ජනතාවට අවශ්‍ය ආහාර සුරක්ෂිතතාවය සහ පෝෂණීය ආහාර නිෂ්පාදනය කරන්න මේ වසරේ අපි විශාල මුදලක් වෙන්කර තිබෙනවා. පිටරටින් ආනයනය කරන කිරිපිටි නතරකර, මෙරට දියර කිරි නිෂ්පාදනය වැඩි කරගන්න සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. මේ වසරේ අපි සංවර්ධනය ඉලක්ක කරගත් අයවැයෙන් ඉදිරිපත් කර තිබෙනවා. දිසාපතිවරුන්ට රුපියල් මිලියන 85,000ක් අයවැයෙන් වෙන්කර දී තිබෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට, කොට්ඨාසවලට, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පළාත් සභාවලට මුදල් ලබා දී තිබෙනවා.

මේ සියලු මුදල් යොදාගෙන මෙරටේ ආර්ථික සංවර්ධනය ඉහළ නැංවිය හැකි ව්‍යාපෘති ක්‍රියාත්මක කරයි කියලා අපි අපේක්ෂා කරනවා. කිසිම අවස්ථාවක අතිරේක මුදල් ලබා ගැනීමට හැකියාවක් නෑ. අලුතින් වාහන, කාර්ය මණ්ඩල ලබා ගන්න අනුමැතිය ලබාදෙන්න බෑ. මේ රටේ රාජ්‍ය සේවයේ විශාල පිරිසක් ඉන්නවා. සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන් ඉන්න තරමට මේස පුටුවක්වත් නැහැ. ඒ නිසා ඒ සියලු මානව සම්පත් යොදාගෙන, මෙරට කිරිවලින් ස්වයංපෝෂිත කර, පිටිකිරි සඳහා වැයවන විදේශ විනිමය ඉතිරි කර ගැනීමට පශු සම්පත් සංවර්ධනය සම්බන්ධ සියලුදෙනාගේ සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා” යැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම වැඩමුළුට දිවයිනේ පළාත් නවයේ ප්‍රධාන ලේකම්වරුන්ද, පළාත් පශු සම්පත් අමාත්‍යාංශවල ලේකම්වරුන්ද, පළාත් අමාත්‍යාංශවල ලේකම්වරුන්ද සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ, පශූ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සමරදිවාකාර යන මහතුන් සමඟ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂවරු සහභාගී වී සටියහ.

Exit mobile version