ලංකාවේ මහ බැංකුවෙන් ඩොලර් ලක්ෂ 65ක් ගෙවූ “ ඉමාඩ් සුබේරී ඩීල් එකේ මුල මැද අග   

ශ්‍රි ලංකාවේ මහ බැංකුවේ එවකට අධිපති ව සිටි වර්තමාන රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ගේ නම මේ දිනවල විපක්ෂය පතුරු ගහන එක් ප්‍රබල කාරණාවක් ඇත. ඒ මේ වනවිට ඇමෙරිකාවේ සිර දඬුවම් විඳින හිටපු සී.අයි.ඒ ඔත්තුකරුවකු ලෙස සැලකෙන ධන කුවේරයකුවූ   ඉමාඩ් සුබේරි ට සහ ඔහුට අයත් සමාගමකට ඇමෙරිකානු රජයේ හොඳ හිත දිනා ගැනීම සහ ශ්‍රි ලංකාවේ ප්‍රතිරූපය ඇමෙරිකාව තුළ වර්ධනය කිරීමේ අරමුණින් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.5ක් ලබා දීම නිසාය. මෙම අති විශාල මුදල ශ්‍රි ලංකා රජයේ අමාත්‍යමණ්ඩල අනුමැතියකින් හෝ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව  එවකට මහ බැංකු අධිපතිවරයා අදාළ පුද්ගලයා වෙත ලබා දුන්  බවට මේ චෝදනාව එල්ල වෙයි.

කැබිනට් අනුමැතියකින් තොරව මහ බැංකුවෙන් මුදල් නිදහස් කළ කබ්‍රාල්

මේ චෝදනාවට ගෑවුණු ඉමාඩ් සුබේයිර් කවුද ?

ඔහු ඇමෙරිකාවේ උපත ලද පාකිස්තාන් සහ ඉන්දියානු මිශ්‍ර සම්භවයකින් පැවතෙන්නෙකි. එනම් පියා පකිස්තාන් ජාතිකයෙකු වන අතර  මව ඉන්දියානු ජාතිකයෙකි. ඇමෙරිකාවේ ප්‍රාග්ධන ආයෝජකයකු ලෙස කටයුතු කර ඇති සුබේරි  පසුගිය පෙබරවාරියේ සිට සිර දඬුවම් විඳින්නේ රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා වෙනුවෙන් ඇමෙරිකානු නීතිවලට පිටින් මුදල් රැස් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙනි.


මේ සුබේරි ශ්‍රි ලංකාවේ දේශපාලනයට සහ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු තමන්ගේ සල්ලි හොයන ව්‍යාපාරයක් බවට පත් කර ගත් ආකාරය පිළිබඳව අංගසම්පූර්ණ ගවේෂණයක් Foreign Policy වෙබ් අඩවියේ ගවේෂණාත්මක වාර්තාකරුවකු වන බිල් ඇලිසන් මීට කලකට පෙර සිදු කර තිබිණ.

ඔහුගේ සොයා ගැනීම්වලට අනුව මෙම කුප්‍රකට ව්‍යාපාරික ගනුදෙනුව සිදුව ඇත්තේ 2014 වසරේ ජනාධිපති මහින්ද රාජපක්ෂ  ජනාධිපතිව සිටින කාලයේය. මේ ගනුදෙනු සඳහා අතරමැදියකු සහ මෙහෙයුම්කරුවකු ලෙසින් ක්‍රියා කර ඇත්තේ විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රීවරයකු ලෙසින් එවකට ක්‍රියා කළ සජින් වාස් ගුණවර්ධනය.

ගවේෂණාත්මක මාධ්‍යෙව්දී බිල් ඇලිසන්ට අනුව ඉමාඩ් සුබේරි යනු ඇමෙරිකානු දේශපාලකයන් බලයට ගෙන ඒම වෙනුවෙන් අත දිග හැර වියදම් කරන පුද්ගලයෙකි. එරට දේශපාලන බල අධිකාරියේ පහළම නියෝජිතයාගේ සිට ජනාධිපතිවරයා දක්වා සෑම පරාසයක් පුරාම ඔහු මැතිවරණවලට අරමුදල් සම්පාදනය කර ඇති බව හෙළිව තිබේ. ඒ ඔස්සේ ඔවුන් සමඟ සම්බන්ධ ඇති කර ගන්නා සුබේරි තමන්ගේ පවතින ලොකු ලොකු සම්බන්ධතා මුදල් බවට පරිවර්තනය කිරීමේ ශූරයෙකි.

බිල් ඇලිසන්  විසින් අනාවරණය කර ගනු ලැබූ ආකාරයට ඔහු ඇමෙරිකාවේ හිටපු  ජනපති බැරක් ඔබාමාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5ක් ලබා දී ඇත. එමෙන්ම හිලරි ක්ලින්ටන්ටද ඔහු ඩොලර් ලක්ෂයක මුදලක් ලබා දී ඇත. එසේම ඩොනල්ඩ් ට්‍රම්ප්ටද ඔහු විය පැහැදම් කළ  බවට වාර්තාවල සඳහන් වෙයි.

ඉමාඩ් සුබේරි ඇමරිකානු ජනපති බයිඩ්න් හිටපු ජනපති ඔබාමා හා වත්මන් රාජ්‍ය ලේකමක් හිලරි සමග…

මේ හේතුව නිසාම ඔහුට ධවල මන්දිරයේ පැවැත්වෙන විවිධ සාද සම්භාෂණ සඳහා සහභාගි වීමේ වරම් හිමිව තිබේ. මේ අයුරින් ඔහු 13 වතාවක් ධවල මන්දිරයේ විවිධ අවස්ථාවලට සහභාගී වී ඇති අතර එසේ ගිය අවස්ථාවල ඇමෙරිකානු ජනාධිපති ඔබාමා සමඟ මෙන්ම එවකට උප ජනාධිපති මෙන්ම වර්තමාන ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමඟද එකට හිඳ ඡායාරූප ලබාගෙන ඇත.

පළමු බිල ගෙවීම

තමන්ට පවතින ඇමෙරිකානු දේශපාලන හයි හත්තිය මුදල් බවට පරිවර්තනය කිරීමට මාන බලමින් සිටින සුබේරි හමුවන්නේ හිටපු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධනටය. ඔවුන් දෙදෙනා ගේ දැන හඳුනා ගැනීම් කෙසේ වන්නේද යන්න පිළිබඳව වාර්තා නොවුවද ඒ වනවිට ශ්‍රි ලංකාව සහ ඇමෙරිකාව අතර පැවැති රාජ්‍ය තාන්ත්‍රිකමය දුරස්ථභාවය අවම කිරීමට ඔහු උපයෝගී කර ගත හැකි බවද අදහසක් පැන නැගිණ.

සජින් ද වාස් ගුණවර්ධන එවකට විදේශ අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රිවරයාය. එකල විපක්ෂය ඔහුට චෝදනා කළේ එවකට විදේශ ඇමති මහාචාර්ය ජී.එල් පීරිස්ටත් නැති බලයක් සජින් ද වාස් ගුණවර්ධනට තිබු බවය. සුබේරි ගනුදෙනු කරන්නේ ඔහු හරහාය. ලංකාවෙ ආණ්ඩුවට ඇමෙරිකාවේ රාජ්‍ය තන්ත්‍රයේ ඉහළම බලධාරීන් සමඟ හොඳ හිත ඇති කර ගැනීමේ කොන්ත්‍රාත්තුව  මෙසේ සුබේරිට සහ ඔහුගේ සම අයිතිය යටතේ පවතිව ඩබ්ලිව් ආර් නම් සමාගමට පැවරී තිබී ඇත. තම රාජකාරිය වෙනුවෙන් සුබේරි පළමු බිල්පත ලියා  ශ්‍රි ලංකාවට එවන්නේ 2014 වසරේ මැයි මාසයේ 05 වැනිදාය. එහි ගණන ඇමෙරිකානු ඩොලර් මිලියන 3.5කි. ශ්‍රි ලංකා රජය මෙම මුදල ගෙවන්නේමැයි මාසයේ 09 වැනිදාය. ඒ ශ්‍රි ලංකා මහ බැංකුව හරහාය.

ඇමෙරිකානු නීතියට අනුව යම් පුදගලයකුට හෝ ව්‍යාපාරයකට මුදලට මෙවැනි රාජ්‍ය තාන්ත්‍රික හවුල්කාරී ගනුදෙනු කළ හැකිය. එක් රටක් හෝ ආයනයක්  ඇමෙරිකානු රජය හමුවෙ ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් ඔවුන්ට මුදල් ඉපයිය හැකිය. එසේ වුවද මේ සම්බන්ධයෙන් අමෙරිකානු අධිකරණ අමාත්‍යංශය යටතේ  එවැනි සේවා සපයන ආයතනයක් ලෙස ලියාපදිංචි වි සිටිය යුතුය. කෙසේ වුවද මෙම මුදල ඔවුන් මැයි මාසයේ 09 වැනිදා ලබා ගත්තද මෙම ආයතනය ඇමෙරිකානු අධිකරණ අමාත්‍යංශයේ ලියාපදිංචි කර ඇත්තේ එම වසරේම අගොස්තු මාසයේදීය. එසේම ඔවුන් මෙම මාධ්‍යෙව්දියාට පවසා ඇත්තේ තම ආයතනය රාජ්‍ය තාන්ත්‍රික සේවා සපයන ආයතනයක්  නොව එය උපදේශන සේවා සපයන සමාගමක් ලෙසින්ය.

ඇමරිකාව කලබල වීම

කෙසේ වුවද ඔවුන් විසින් මෙසේ ශ්‍රි ලංකා රජය සමඟ ගනුදෙනු කර ඇත්තේ විධිමත් බවකින් තොරව බව ඔවුන් අනාවරණය කරගෙන තිබිණ. එම තත්ත්වය ඇමෙරිකාවේ ඉහළම පෙළේ දේශපාලන අධිකාරිය කෙතරම් කැලඹීමකට ලක් කළේද යත් ඒ වනවිට ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරියව සිට ඊළඟ ජනාධිපතිවරණ සිහිනයේ සිටි හිලරි ක්ලින්ටන්ගේ ජනාධිපති අපේක්ෂකත්වයද අනතුරට  ලක් වන තරමේ බරපතල එකක් වී තිබේ. ඊට හේතුව සුබේරි හිලරි ක්ලින්ටන් ගේ මැතිවරණ ව්‍යාපාරයට මෙන්ම ක්ලින්ටන් පදනමට ද ඩොලර් ලක්ෂ ගණනින් ප්‍රදානය කර තිබීමය. යම් හෙයකින්  සුබේරි විසින් සපයන ලද මුදල් අශුද්ධ මුදල් බවට ඒ වනවිට තහවුරු වී නම් අශුද්ධ මුදල්වලින් මැතිවරණ ව්‍යාපාර කිරීමේ චෝදනාව ට නොදැනුවත්ම ගොදුරු වීමේ අනතුර ඇයට ද තිබිණි.

සුබේරිගෙ පළමු ලංකා ගමන

කෙසේ වුවද ඔබාමා බලයට ගෙන ඒම සඳහා මුදල් වියදම් කළ ධනවතුන්ගේ ලයිස්තුවට ඇතුළත් ව සිටි සුබේරි තම දැන හැඳුනුම්කම් මත ශ්‍රි ලංකාවට වරක් පැමිණෙන්නේ 2014 වසරේදී ය. ඒ පැමිණීමේ දී කොළඹ දී රජයේ හිතවතුන් සේම ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිලධාරීන්ද මුණ ගැසී ඇත.  සුබේරි තම ඩීල් එක එහිදී දමා ගත් බව පැවසේ. ඒ අනුව යළි ඇමෙරිකාවට යන සුබේරි තම අත්තිකාරම් මුදල ලෙස ඩොලර් මිලියන 3.5ක් තමන්ට අයත් ඇවනිව් වෙන්චර්ස් සමාගමේ ඉන්වොසියක් මඟන් ශ්‍රි ලංකා රජයෙන් ඉල්ලා ඇත්තේ Sri Lanka project May 2014 invoice per contract.” යන්න පමණක් සඳහන් කරමිනි. 2014 වසරේ මැයි මස 05 වැනිදා යොමු කළ මෙම ඉන්වොයිසයෙන් ඉල්ලා ඇත්තේ බෑන්ක් ඔෆ් ඇමෙරිකා බැංකුවේ ගිණුම්කට මෙම මුදල යොමු කරන ලෙසය.

ඊට දින හතරට පසුව එනම් මැයි මස 09 වැනදා එම මුදල සුබේරි ගේ ගිණුමට ශ්‍රි ලංකා මහ බැංකුව විසින් මුදල් බැර කොට ඇත. මෙම මුදල් පිළිබඳව වෙබ් අඩවියේ ගවේෂණාත්මක මාධ්‍යව්දියා අනාවරණය කරන්නේ ශ්‍රි ලංකාවෙන් ලද තොරතුරු අනුව එම මුදල් ශ්‍රි ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අරමුලින් ලබා ගත් ඒවා බවය.

සජින් ද වාස් ගුණවර්ධන

මෙම මුදල් පිළිබඳව අනාවරණය වීමෙන් පසුව ඇමෙරිකානු විමර්ශකයන් සුබේරිගෙන් ප්‍රශ්න කොට ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ මේ මුදල් එක කාර්යකට පමණක් ලබා නොදුන් බවත් කටයුතු ගණනාවක් සම්බන්ධ සංකීර්ණ ක්‍රියාවලියක් වෙනුවෙන් ලබා ගත් අතර යම් වැරැද්දක් සිදුව ඇත්නම් එය නිවැරදි කිරීමට තමන් සූදානම් බවත්ය.

සියලුම ගනුදෙනු සජින්  හරහා

මෙම ගනුදෙනු සහ සියලු මෙහෙයුම් සිදුව ඇත්තේ සජින් ද වාස් ගුණවර්ධන හරහාය. වාර්තාවලට අනුව මේ සමස්ත මෙහෙයුම පසුපස සිටි ප්‍රධාන චරිතය ඔහුය. මෙම මුදල් ලබා දී ඇත්තේද ඔහුගේ ඉල්ලීම් සහ උපදෙස්  අනුව බව සැලකෙන අතර අමෙරිකාව දිනා ගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික ඩීල් එක සුබේරි හරහා මෙහෙයවා අතතේද ඔහුය.

ඔහුගේ කාර්යාලය සුබේරිගේ සේවාදායකයකු ලෙස ලයිස්තු ගත කිරීම පිළිබඳවද විමර්ශකයන් ප්‍රශ්න කර ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ තමන්ට ඇත්තේ ශ්‍රී ලංකා රජය සමඟ ගනුදෙනුවක් මිස සජින් ද වාස්  සමඟ නොවන බවය.

කෙසේ වුවද ඔහුගේ සමාගමට ඊට පසුවද තවත් ඇමෙරිකානු ඩොලර් මිලියනය බැගින් ගෙවීම් දෙකක් සිදු කොට ඇති බව වාර්තා වේ. සුබේරි විසින් ශ්‍රි ලංකා රජය සහ ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රක සම්බන්ධතාවලට අදාළ කටයුතු සඳහා තවත් සමාගමක සහය ලබාගෙන ඇති අතර මෙම සමාගමද එරට රාජ්‍ය තාන්ත්‍රික මහජන සම්බන්ධතා වෙනුවෙන් ලියාපදිංචි නොවූ ආයතනයක සේවය ලබා ගෙන ඇති බව අනාවරණය වෙයි. මෙම සමාගම වන්නේ බෙල්ට් වේ නම් ආයතනයයි.

කැපිටෝල් හිල් සාදය

ඔවුන් වොෂින්ටනයේ බලධාරීන් ශ්‍රි ලංකා රජය කෙරෙහි නම්මවා ගැනීමට යයි පවසමින්  හමුවක් සංවිධානය කර ඇති අතර එයට රාජ්‍ය තාන්ත්‍රිකයන්, මාධ්‍යෙව්දීන් දේශපාලකයන් ඇතුළු ගණනාවකට ආරාධනය කර ඇත. වොෂින්ටනයේ සුප්‍රකට කැපිටොල් හිල් මන්දිරයේදී පැවැති මෙම හමුවට ශ්‍රි ලංකාව නියෝජනය කරමින් සහභාගී වී ඇත්තේද සජින් ද වාස් ගුණවර්ධන ඇතුළු නියෝජිතන් පිරිසකි. මෙම හමුව සිදුව ඇත්තේ 2014 වසරේ ජූලි මස 14 වැනිදාය. ඇමෙරිකානු රජයේ සෙනෙට් සභිකයන් දෙදෙනකු ඇතුළු නියෝජිත කණ්ඩායමක් සමඟ මෙම හමුවේදී සාකච්ඡා කොට ඇති අතර එහිදී ඇමෙරිකාවට ශ්‍රි ලංකාවේ පවතින උපාය මාර්ගික වැදගත්කම පිළිබඳව අවධාරණය කෙරී ඇත.

සජින්ගේ විශේෂ බොන පාටිය

එදින රාත්‍රියේ මෙම රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සජින් ද වාස් ගුණවර්ධන විසින් සාදයක් සංවිධානය කර තිබී ඇති අතර එය පැවැත්වෙන්නේ වොෂින්ටන් හි කනෙක්ටිකට් ඇවනියු හි Morton’s Steakhouse  නම් අවන්හලේ දීය. 15 දෙනකු වෙනුවෙන් සංවිධානය කර තිබූ මෙම සාදයේදී ග්‍රේ ගූස් වර්ගයේ වොඩ්කා 40ක් ජොනි වෝකර් විස්කි, පාන 63ක්ද ඩොලර් 150 බැගින්වන වයින් බෝතල තුනක් සහ බීර ඇණවුම් කර ඇති අතර මෙම සමස්ත සාදයේ බිල ඇමෙරිකානු ඩොලර් 4000ක් පමණ වූ බව සඳහන් වේ.

කෙසේ වුවද මෙම විය පැහැදම් සහ ගනුදෙනු පිළිබඳව විවිධ කතා බහ නිර්මාණය වෙද්දී ඇමෙරිකානු බලධාරීන් මේවා දිගින් දිගටම විමර්ශනය කර ඇත. ඔවුන් අනාවරණය කරගෙන ඇති පරිදි මෙම ශ්‍රි ලංකා රජය සුබේරි සමග ගනුදෙනු ආරම්භ කොට හරියටම දින 97කට පසුව ඔහු තම ආයතනය රාජ්‍ය තාන්ත්‍රික සේවා  සපයන සමාගමක් ලෙස ලියාපදිංචි කොට  ඇත්තේ 2014 වසරේ අගෝසතු මාසයේ 14 වනිදාය.

විමර්ශනවලට අනුව ඔහු ශ්‍රි ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික කපුකම වෙනුවෙන් වියදම් කර ඇත්තේ ඇමෙරිකානු ඩොලර් 850,000කි. එසේ වුවද ඔහු මේ වෙනුවෙන් ලබා ගෙන ඇති මුදල ඒ මුදල මෙන් අටගුණයකට ආසන්න වෙයි.

ඉමාඩ් සුබේරි දැන් බන්ධනාගාරයේ..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කලක් ඇමෙරිකානු රාජ්‍ය ඔත්තු සේවයේ ඔත්තුකරුවකු ලෙසින්ද කටයුතු කර ඇති වවට සඳහන් වන ඉමාඩ් සුබේරි ට මෙම චෝදනාවට අමතරව බදු වංචා කිරීම, මැතිවරණ වයාපාරවලට නීති විරෝදී ලෙස මුදල් යෙදවමේ චෝදනාවලටද වැරදිකරුවකු වූ අතර පසුගිය පෙබරවාරි මාසයේදී ඔහුට 12 වසරක සිර දඬුවමක් ඇමරිකානු අධිකරණය විසින් නියම කරන ලදී.

Exit mobile version