රත්ගම තිගැස්සූ මිනිස් ඝාතනය…

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය

රත්ගම, ගම්මැද්දේගොඩ ප්‍රදේශයේදී අද (31) දහවල් සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනෙක් බරපතල තුවාල ලබා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ.

මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ රත්ගම, දේවෙනිගොඩ, පන්සල පාරේ පදිංචි දේව නන්දලාල් ප්‍රියන්ත නැමැති 45 හැවිරිදි අයෙක් බව රත්ගම පොලීසිය කියයි. මියගිය අය විශ්‍රාමික යුද්ධ හමුදා සෙබලෙක් බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලබා ගාල්ල, කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන දෙදෙනාද රත්ගම, ගම්මැද්දේගොඩ ප්‍රදේශයේ පදිංචි කරුවන් බවද පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී තිබේ. ඔවුන් දෙදෙනා දඩල්ලගේ රාජකරුණා  (47)  සහ දඩල්ලගේ එරංග (26) නැමැති දෙදෙනකු බවට හදුනාගෙන තිබෙන බවද රත්ගම පොලීසියේ ප්‍රකාශකයෙක් සදහන් කළේය.


යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බවත් ඒ සදහා ටී – 56 ගිනි අවියක් යොදාගෙන තිබෙන බවත් මෙතෙක් කරන ලද පොලිස් පරික්ෂණ වලදී තහවුරු වී තිබේ. වෙඩි තැබීම සිදුකරන ලද ස්ථානයේ තිබී හිස්පතුරම් කොපු 10 කට අධික ප්‍රමාණයක්ද රත්ගම පොලිසිය විසින් සොයාගෙන තිබේ. වෙඩි තැබීම සිදු කිරීමෙන් පසුව වෙඩික්කරුවන් දෙදෙනා පලාගොස් තිබෙන බවද රත්ගම පොලීසිය කියයි.

වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ තිදෙනා ප්‍රදේශවාසීන් විසින් ගාල්ල, කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙන බවත් එහිදී එක් අයෙක් මියගොස් ඇති බවත් කරාපිටිය රෝහලට සම්බන්ධ ආරංචි මාර්ග සදහන් කරයි. රෝහලේ ප්‍රතිකාර ලබන දෙදෙනාට මේ වන විට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදා තිබෙන බවද රත්ගම පොලීසිය කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රත්ගම පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Exit mobile version