යාලෙන් අක්කර 12000ක් ගන්න යන බව සජිත් කියයි – ඇමති සීබී නෑ කියයි

යාල ජාතික වනෝද්‍යානයෙන් අක්කර 12,000 ක් බැහැර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ ප්‍රකාශය වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී. බී. රත්නායක ප්‍රතික්ෂේප කරයි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා ඩේලි මිරර් පුවත්පතට පවසා ඇත්තේ රජය එවැනි සැලැස්මක් ක්‍රියාත්මක නොකළ බවයි.

වගකිවයුතු අමාත්‍යවරයකු වශයෙන් තමා එවැනි ක්‍රියාකාරකම් යාල ජාතික වනෝද්‍යානයේ සිදු කිරීමට ඉඩ නොදෙන බවත් එවැනි සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පෙර යෝජනාවක් ඉදිරිපත් කළ යුතු නමුත් මෙතෙක් එවැනි යෝජනාවක් ඉදිරිපත් කර නැතැයි ද අමාත්‍යවරයා පැවසීය.


යාල වන රක්ෂිතයට මැදිහත් වීමට කිසිවෙකුට ඉඩ නොතබන බව අමාත්‍ය රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

යාල වනෝද්‍යානයේ අක්කර 12000ක් බැහැර කොට විනාශ කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසන බවට වාර්තා වන බවත් වහාම එම ක්‍රියාමාර්ගය නතර කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පැවසුවේ ශ්‍රී ලංකා සංචාරක රියදුරු එකමුතුව සමග විපක්ෂ නායක කාර්යාලයේ දී අද(14)පැවැති හමුවකදී ය.

අධි සංවේදී පරිසර පද්ධතියක් වන යාල වනෝද්‍යානය සුරැකීම සියලුදෙනා සතු වගකීමක් බවද ආණ්ඩුව යාලට අත තබන ක්‍රියාමාර්ගයකට ගියහොත් සමගි ජනබලවේගය ඊට එරෙහිව පෙරට එන බවද විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කරමින් වැඩිදුරටත් මෙසේ කීය.

“මම කිසිම දවසක බොරු ආරංචි බොරු ප්‍රචාර නිකුත් කරලා දේශපාලන වාසි ලබා ගන්න කෙනෙක් නෙවෙයි. මොකද මා පිළිබඳව තියෙන විශ්වාසය මම ලෑස්ති නෑ නැති කරගන්න. අපිට ආරංචි වෙලා තියෙනවා විද්යානුකුල නොවන මාර්ගයක් කැපීමක් යාල වනෝද්‍යානයේ සිදුවන බවට. අක්කර දොළොස් දාහක් යාල වනෝද්‍යානයෙන් බැහැර කිරීමේ යම් ක්‍රියාදාමයකට සැලසුම් සකස් වෙනවා කියන එක අපිට ආරංචි වෙලා තියෙනවා.

මම දකිනවා මේක ඉතාමත්ම වැරදි ක්‍රියාවක්. මේ ක්‍රියාදාමය තුළින් අපේ රටේ පරිසරය, වනජීවී වෘක්ෂ වෘක්ෂලතා ආඥා පනත කඩ කරලයි මෙවන් දෙයක් සිදු කරනවා නම් කරන්න වෙන්නේ. විශේෂයෙන්ම යාල ජාතික වනෝද්‍යානය කියන්නේ අපේ රටට සම්පතක් වගේම ලෝකප්‍රකට ඉතාමත්ම අධි සංවේදී පරිසර කලාපයක්. විදේශිකයන් ලක්ෂ ගණනක් තමන්ගේ සංචාරක කටයුතු සිදුකරන ස්ථානයක්. මම කාරුණිකව ඉල්ලීමක් කරනවා කරුණාකරලා මේ දශක ගණනාවක් සුරැකුණු මේ වනාන්තරය විනාශ කරන්නට පිඹුරුපත් සකස් කරන්න එපා. එයට විරුද්ධව අපේ රටේ තිබෙන එකම ප්‍රායෝගික හරිත දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය තරයේ විරුද්ධයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


යාල ජාතික වනෝද්‍යානය තියෙන කැලෑ කපන්න නෙවෙයි කැලෑව ආරක්ෂා කරන්න. ඒ වන සතුන් වෘක්ෂලතා ආරක්ෂා කිරීමට රජයේ අප සියලු දෙනාගේ වගකීම. අන්න ඒ නිසා අක්කර දොළොස් දාහක් යාල වනෝද්‍යානයෙයන් බැහැර කිරීමේ යම් අදහසක් තියෙනවා නම් ඒ වහාම ඉල්ලා අස්කර ගන්නා ලෙසත් යාල කැලෑව තුළ අනවසර පාරවල් කැපීම, වහාම නතර කරන ලෙසත් මම රජයෙන් කාරුණිකව ඉල්ලීමක් කරනවා. එසේ කරමින් ඉදිරියට ගෙන ගියොත් මේ රටේ සියලුම ප්‍රගතිශීලී යන බලවේග සමඟ ඒකරාශිවී දැවැන්ත පරිසර විනාශය නතර කරන්න අපි අනිවාර්යෙන්ම ප්‍රජාතන්ත්‍රවාදීව විද්‍යානුකූලව කටයුතු කරනවා. එනිසා එතැනට අපිව ගෙනියන්නේ නැතුව කරුණාකරලා අඩුම තරමින් අපේ රටට ඉතිරි වී තිබෙන මේ වන සම්පත විනාශ නොකොට පරිසර හිතකාමී යුගයක් නිර්මාණය කරන්න ආණ්ඩුවට ප්‍රඥාව පහළවේවා කියලා මම කියනවා.”

Exit mobile version