මේ රාජකාරි පීඩනය දරා ගන්න බෑ… ගම්පහ පී.එච්.අයි.ලා කියති.

PHI

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ගම්පහ දිස්ත්‍රික්කය තුළ දී තමන්ට රාජකාරි පීඩනය දරාගත නොහැකි තත්වයක් නිර්මාණය වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.

මේ සම්බන්ධව කළ විමසීමක දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ උප සභාපති එස්.ටී.යූ.ටී.කුලතිලක පැවසුවේ බස්නාහිර පළාත තුළම කොව්ඩ් රෝගීන් ඉහළ අගයක් ගන්නා නමුත් ගම්පහ දිස්ත්‍රික්කය තුළ දරාගත නොහැකි තරමට රෝගීන් ඉහළ ගොස් තිබෙන බවය.

එක් පී.එච්.අයි වරයෙකුට අධීක්ෂණය කළ යුතු රෝගීන් ප්‍රමාණය 150ක ධාරිතාව තෙක් ඉහළ ගොස් ඇති බව කියන උප සභාපතිවරයා ස්වකීය රාජකාරිය සඳහා කිසිවෙකුගෙන් උපකාර ලබා ගත නොහැකි තත්වයකට පත් වී ඇතැයි කීවේය.

රෝගීන්ගේ පළමුපෙළ ආශ්‍රිතයන් හඳුනාගැනීම, රෝහල්ගත කිරීම, නිවාසවල සිටින රෝගීන්ගේ ස්වරූපය අධීක්ෂණය කිරීම, ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂා සහ පී.සී.ආර් කිරීම, කොවිඩ් දේහ ආදාහනය පිළිබඳ අධීක්ෂණය සහිත රාජකාරි ප්‍රමාණය සිදුකිරීම අසීරු වී ඇති අයුරු ඔහු පෙන්වා දුන්නේය.

මේ සම්බන්ධව බිම්මට්ටමේ රාජකාරි කරන සෞඛ්‍ය සේවකයන් සේ රජයට ඉදිරිපත් කළ හැකි එකම යෝජනාව දැඩි සීමා පනවා මාස දෙකක කාලයක්වත් රට වසා දැමීම බව උපසභාපතිවරයා කීවේය.

Exit mobile version