මේ ජනාධිපතිවරයා සහ ඔහුගේ ආණ්ඩුව පුදුම සහගතයි!.. අගරදගුරු හිමිපානෝ විදෙස්ගත ලාංකිකයන්ට කියති!

Malcom-Ranjith

කීර්ති ප්‍රනාන්දු –

පාස්කු ප්‍රහාරයේ නිර්දේශ සියල්ල ක්‍රියාත්මක කරන බවට ඡන්දයට පෙර දී පොරොන්දු වී ජනාධිපති ලෙස දිවුරුම් දුන් පසුත් සහතික කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාස්කු කොමිසමේ වාර්තාව තමන් අතට පත් වී දින දෙකක් ගිය තැන තමන්වහන්සේ අමතා එම නිර්දේශ සියල්ලම ක්‍රියාත්මක කළ නොහැකි බවත්, එසේ කළහොත් තමන් අප්‍රසාදයට පත්වන බවත් දැන්වූ බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ  පැවසූහ.

උන්වහන්සේ මේ බව පැවසුවේ  ඔස්ට්‍රේලියානු ශ්‍රී ලංකා යුක්ති සංසදය සමග සූම් තාක්ෂණය ඔස්සේ   පාස්කු දින ප්‍රහාරය පිළිබඳ එතෙර සිටින ශ්‍රී ලාංකිකයින් දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයක් අමතමිනි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ ද මෙම සම්මන්ත්‍රණයට එක් වී සිටියහ.

එම සම්මන්ත්‍රණයේ දී කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේ මේ ප්‍රහාරය පසුපස අන්තවාදී මුස්ලිම්වරුන් කිහිපදෙනෙක් පමණක් නොසිටි බව තමන් වහන්සේ දන්නා බවය. මේ ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ හැසිරීම පුදුමසහගත බවත් දැන් යුක්තිය ඉෂ්ට කරගැනීම සඳහා ජාත්‍යාන්තර ප්‍රජාවගේ සහය පැතිය යුතු කාලය එළඹ ඇති බවත් උන්වහන්සේ කීහ.


එම සම්මන්ත්‍රණය අමතමින් කාදිනල් හිමිපානෝ මෙසේ ද ප්‍රකාශ කළහ.

“ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලන කාලෙ ජනාධිපතිතුමා රටෙ වටේ ගිහින් කිව්වෙ තමන් බලයට පත් වුනාම මේ ප්‍රශ්නයට විසඳුම් දෙනවා කියලා. ඔහු බලයට පත් වූ වහාම රදගුරුතුමන්ලා සමග කළ සාකච්ඡාවකදි පැවසුවේ පාස්කු කොමිසමේ නිර්දේශ හා තීරණ ක්‍රියාත්මක කරනවා කියලා.“

“ඒත් අපට පාස්කු කොමිසමේ වාර්තාවෙ පිටපතක් ලැබුනාම ඔහු ඔහුගේ ආණ්ඩුවෙ කීපදෙනෙක් පත් කළා කොමිසමේ ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක කරන්නත්,  ඇතැම් නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නත් . ඒ ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවලට අනුව. එය දේශපාලන තීන්දුවක්. ස්වාධීන තීන්දුවක් නෙමෙයි.

වාර්තාව නිකුත් වෙලා දින දෙකකට පස්සේ එතුමා මට කතා කළා. ඔහු මට කිව්වා වාර්තාවෙ නිර්දේශ සියල්ලම  ක්‍රියාවට නන්වන්න බැහැ කියලා. සමහර නිර්දේශ ක්‍රියාත්මක කළොත් ඔහු අප්‍රසාදයට පත්විය හැකි බවත් කිව්වා. ආණ්ඩුව ඒ වාර්තාවේ නිර්දේශ බොහොමයක් ක්‍රියාවට නන්වලා නැහැ. එයින් කාලයත් නාස්ති වුනා. අපි හැමෝගෙම බලාපොරොත්තු නැතිවුනා.

වාර්තාවේ පෙන්නුම් කරන්නෙ නීතිපතිතුමා බුද්ධි අංශවලින් සැක සහිත සිද්ධීන්  සම්බන්ධයෙන් ප්‍රශ්න කළ යුතු බවයි. ඒත් එවැනි දෙයක් වෙලා නෑ.  ඒ සියල්ලම වචනවලට සීමා වුන දේවල් විතරයි.

වත්මන් ආණ්ඩුව වත්මන් නායකයින් වින්දිතයින්ගේ සියලුම බලාපොරොත්තු බිඳ දමා තියනවා. අපට ඔවුන්ගේ මෙම ක්‍රියා කලාපය පිළිබඳවම පුදුම සහගතයි. අපට කිසිම වුවමනාවක් නෑ කිසිම කෙනෙකුගෙන් පලි ගන්න. ප්‍රහාරය සිදුවුනාම ලොකු කලබල රටේ ඇතිවෙන්න හැකියාව තිබුණා. අපි එවැනි තත්වයක් ඇතිවීම වැළැක්වීමට කළ හැකි සියල්ලම කළා.

ඉත්තෑපානේ ධම්මාලංකාර හිමියන් සමග අපි බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියා මුස්ලිම් ජනතාවට හිරිහැර නොකරන ලෙසට. මම මුස්ලිම් ජනතාව ආරක්ෂා කළා.

අපි දන්නවා මේ ප්‍රහාරය පසුපස ඉන්නෙ අන්තවාදී මුස්ලිම්වරු හත් අට දෙනෙක් විතරක් නෙමෙයි කියලා.

මේ පිටුපස ඉතාම ලොකු දෙයක් සිද්ධවුනා. අපිට දැනගන්න ඕනෑ මොකක් ඒ කියලා. ඒක දැනගන්නකල් අපිට සෑහීමකට පත් වෙන්න බෑ. ඒක හෙළි වුනේ නැතිනම් මිනිස්සු රැවටීමක් වෙනවා. අපිට ඇත්තටම ජාත්‍යාන්තර ප්‍රජාවේ සහය අවශ්‍යයයි.  පාස්කු ප්‍රහාරය පිටුපස්සේ එදා මොකද වුනේ කියලා ඇත්තටම දැගන්න. කවුද ඒක කළේ. දේශපාලන අරමුණු තකා කවුද ඒ පුද්ගලයින්ව පාවිච්චි කළේ. අපට එය දැනගැනීමට අවශ්‍යයයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

 

Exit mobile version