මීගමුව බන්ධනාගාරයේ ඇතුළේ රැඳවියන් 59කට වෙනම සැප බන්ධනාගාරයක්

ධනවත් සහ බලපුළුවන්කාරකම් සහිත රැඳවියන් 59 දෙනකු වෙනුවෙන් මීගමුව බන්ධනාගාරයේ වෙනම පෞද්ගලික සුඛෝපභෝගී බන්ධනාගාරයක් ක්‍රියාත්මක වී ඇති බව අනාවරණය වෙයි.

මේ වනවිට අත්අඩංගුවට පත් වීමෙන් වැළකී රහසිගතව ජීවත් වන මීගමුව බන්ධනාගාරයේ අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු නිලධාරීන් කිහිප දෙනකු මෙම කටයුත්තට සම්බන්ධ වී ඇති බවත් මෙම වගකිව යුතු බන්ධනාගාර අධිකාරීවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය තවමත් අසමත් වී ඇති බවත් ඊයේ (29) නියෝජ්‍ය සොලාසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කියා සිටියේය.

බන්ධනාගාරගත රැඳවියන්ට සුඛෝපභෝගි පහසුකම් සැපයීම මෙම රැඳවියන්ට නීතිවිරෝධී ක්‍රියා සඳහා අනුබලදීම ඇතුළු විෂමාචාර සම්බන්ධයෙන් වූ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත්කර තිබියදී නීතිඥයන් මාර්ගයෙන් අධිකරණයට භාර වූ සැකකාර බන්ධනාගාර ජේලර්වරුන් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී අදහස් දැක්වූ දිලීප පීරිස් මහතා මෙම නඩුවේ විමර්ශණවලදී හෙළිවූ කරුණු මත පදනම්ව මෙම අනාවරණය කළේය.


ප්‍රධාන පෙළේ අපරාධකරුවන් සහ ඊට සම්බන්ධ පුද්ගලයන් බන්ධනාගාර ගත වූ අවස්ථාවලදී ඔවුන්ට අවශ්‍ය සියලු සැප පහසුකම් ලබා දීමට මීගමුව බන්ධනාගාරයේ අධිකාරීවරයා ඇතුළු ඇතැම් නිලධාරීන්ගේ සහය ආරක්ෂාව සහ රැකවරණය ලැබී ඇතැයිද ප්‍රකාශ කළේය.

එමෙන්ම තවමත් නීතිය හමුවට නොපැමිණ සිටින අනුරුද්ධ සම්පායෝ අත්අඩංගුවට ගැනීමට වැඩබලන පොලිස්පතිවරයාට නොහැකි වීම සම්බන්ධයෙන් පෞද්ගලිකවම ඔහු අධිකරණය වෙත කැඳවා ප්‍රශ්න කිරීමට නොතීසි නිකුත් කරන්නැයිද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිට ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


87000ක පොලිස් නිලධාරීන් පිරිසකට නායකත්වය දෙන වැඩ බලන පොලිස්පතිවරයා මෙම අධිකරණ නියෝගයට අනුව ලබන සිකුරාදා වන විට සැකකාර බන්ධනාගාර අධිකාරීවරයා අත්අඩංගුවට නොගන්නේ නම් වැඩබලන පොලිස්පතිවරයා අධිකරණය හමුවට පැමිණවිය යුතු බවද දිලීප පීරිස් මහතා එහිදී අවධාරණය කර ඇත.

Exit mobile version