දේශපාලකයන්ට ගැතිකම් කරමින් බොරු කරන්න එපා… යුනිෆෝම් ගලවලා ගෙදර යන්න – කාදිනල් හිමි

කීර්ති ප්‍රනාන්දු –

පොලිසිය සිටින්නේ  අවංකව සත්‍ය වෙනුවෙන් වැඩ රකන්නට මිස  දේශපාලනකයන්ට ගැතිකම් කිරීමට නොවන බවත්,  ඇස් පනාපිට බොරු නොකර කරුණාකර යුනිෆෝම් ගලවා ඉවත්ව යන ලෙසත් කාදිනල් හිමියෝ  සියලු ශාන්තුවරයන්ගේ දෙවස්ථානයේ  බෝම්බ සිද්ධියට අදාලව පරීක්ෂණ කරන පොලිස් කණ්ඩායම් වලට අද   පැවසූහ.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ , අද (13) කොළඹ අගරදගුරු නිවසේ දී මාධ්‍ය හමුවක් පවත්වමිනි.

කාදිනල් හිමියන් පෙන්වා දෙන්නේ මේ සිද්ධිය අතිශයින් ජුගුප්සාජනක ලෙස වසන් කිරීමට පොලිසිය කටයුතු කරන බවය.

මාධ්‍ය අමතා  අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ මෙසේද පැවසූහ.

“ එම සිද්ධියෙන් පස්සේ අපේ පල්ලියේ අවුරුදු ගානක් වැඩකරපු සහ සන්ක්‍රිස්තියන් තනතුර දරපු මහත්මයාව සහ ඔහුට සහාය වෙච්චි සේවකයෙක් ඇතුළු 04ක් පොලිසියට කැඳවාගෙන ගියා. “


පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා ඊට පසසේ නිකුත් කළ ප්‍රකාශයේ  සඳහන් වුනා ඒකට කටයුතු කළේ සන්ක්‍රිස්තියන් ධුරය දරපු  පානි  කියන කෙනා කියලා. මම දෙවස්ථානය භාර පියතුමාට කිව්වා කරුණාකරලා උදේ වරුවේ සිට සීසීටීවී නරඹන්න කියලා. මොකද පොලිසිය කිව්වෙ අපට  හැන්දෑවෙ තුනෙන් පස්සේ දර්ශන නැරඹුවාම ඇති කියලා.

පියතුමන්ලා ඇහුවාම අපි උදේ වරුවේ ඒව පෙන්වන්නද කියලා ඒ ගොල්ල ඒ ගැන ඒ තරම් කැමැත්තක් පෙන්නලා නෑ.

බෝම්බය ගෙනාවෙ 9.52ට ..

“ඒ අනුව අපට පේනවා උදේ 9.52ට දේවස්ථානයට ඇතුළුවෙනවා සිලිසිලි බෑග් එකක් අරගෙන  කළුපාටට හුරු කලිසමකුයි, බුෂ් ෂර්ට් එකක් වගේ ඇඳුමක් ඇඳගත්ත පුද්ගලයෙක්.  නිකම් නොන්ඩි ගසමින් වගේ ඇවිල්ලා පල්ලිය ඇතුළට  එනවා. අන්තිම බංකුවට වඩා බංකු කීපයක් මෙහායින් ඇතුළු වෙනවා. පල්ලියට ඇතුළු වුනාම  හැසිරීමෙන් එයා කතෝලිකයෙක් නොවෙයි වග තේරුණා. “

“දොරකඩ ලඟ ඉඳලා මුල්ලේ ප්‍රතිමාවක් තියනවා. එතෙන්ට යනවා. ඒ පුද්ගලයා එතන ඉඳගෙන මොනවද කරනවා. නැවෙනවා.  ඒ වගේම අපට පේනවා ඒ පුද්ගලයා කලිසමින් මොනවා හරි දෙයක් ඇදලා ගනන්වා . නැවිලා මොනවදෝ කරනවා පේනවා.“

“පල්ලියෙ තවත් සැරසිලි වගයක් කරමින් හිටපු කෙනෙක් එතැනින් යන්න ගියාම  මේ පුද්ගලයා කඩිමුඩියේ වටපිට බලබල පැනලා දුවනවා පල්ලියෙන්. එතකොට කොරය නෑ… අපට හිතනවා මේ පුද්ගලයා සාක්කුවක හෝ යම් කිසි දෙයක් අරගෙන ආපු නිසා තමයි කොරගහිමින් එන්න ඇත්තෙ කියලා. “

“අපි කියන මේ දර්ශන පොලිසිය බලන්නෙ නෑ.  අපට තියන ප්‍රශ්නය ඇයි පොලිසිය හැන්දෑවෙ තුනේ ඉඳලා පමණක් ඒ දර්ශයන ලබමුයි කියලා කිව්වේ. උදේ ඉඳලා බලන්න නැත්තෙ ඇයි.  හැන්දෑවේ හතරෙ ඉඳලා තමයි එතන හතරදෙනාගෙ දර්ශන අපි දැක්කෙ.“

“එයින් පානි කියන කෙනා තමයි අත්අඩංගුවට අරන් තියෙන්නෙ. එයාට තමයි පල්ලිය සුද්ද පවිත්‍ර කරන්න පැවරිලා තියෙන්නෙ. එයා කොස්සක් අරගෙන පල්ලිය සුද්ද පවිත්‍ර කරමින් යනවා.  ඒ මනුස්සයා ඒ  මුල්ලට ආවට පස්සේ බිමට නැමිලා මොකක් හරි දෙයක් අරන් උඩින් තියනවා. උදේ වරුවේ අර මනුස්සයා තියපු දේ තමියි මේ උඩින් තියන්නෙ කියලා අප විශ්වාස කරනවා . පානි ඒක තියලා ගැස්සිලා වගේ බලාගෙන ඉන්නවා. බයෙන් වගේ. එතනින් දුවලා එනවා මෙහා පැත්තට. උදව් කරන කෙනාට දන්වනවා කියලා පේනවා. ඒ දෙන්නම ඇවිත් බලනවා පේනවා. පස්සේ ඇවිත් පියතුමාට දැනුම් දෙනවා.“

“පානි කියන කෙනා මේක තිබ්බා නම් මේක අල්ලයි ද?.  ඒක අරන් උඩින් තියයි ද?. “

පොලිසිය කියන්නෙ බොරු

“කාරණා කීපයක් තියනවා . පොලිසිය ගෙනියන කතාව සත්‍යයෙන් තොරයි කියලා අපට පෙනනවා. කවුද මේක ගෙනත් තිබ්බෙ. ඒක හොයන්නෙ නැතිව කොස්සෙන් අතුගාන මිනිහව අල්ලලා ඇතුළට දාන එකයි පොලිසිය කරන්නේ. සත්‍ය හෙළිදරවු කරගැනීමේ උත්සාහයක් එතන නෑ.“

“ඇත්ත හොයනවට වඩා කතන්දරයක් ගොතන්න කරන වැඩක් බව අපට පේනවා. අපි පොලිසියේ මේ ක්‍රියාදාමය අපි ප්‍රතික්ෂේප කරනවා. අහිංසක මිනිස්සුන්ව බිල්ලට දීලා මේක පිටිපස්සේ තියන කුමන්ත්‍රණ වහනන් හදනවා. අපේ ඉතිහාසය පුරාම පොලිසිය කරලා තියන දේවල් දිහා බලනකොට මේකත් ඒ වගේ දෙයක්ද කියලා හිතනවා.“

“පොලිස්පති තුමා මාධ්‍ය ප්‍රකාශක   ලොකු ස්ටේට්මන්ට් දෙනවනෙ එක එක චෝදනා  කරකර. නිලධාරීන් අවංක වෙන්නට ඕන පළමුව . දේශපාලන ලෝකයේ නායකයන්ට ගැතිකම් කරන් නෙමෙයි පොලිසිය තියෙන්නේ. මේක කුමන්ත්‍රණයක් හැටියටයි මා දකින්නෙ. කතෝලික පල්ලිවල බයක් ඇතිකරවන්න දරන උත්සායහක් ලෙසයි මම දකින්නේ.“

“ ඒ නිසා කරුණාකරලා  බොරු කරන්න එපා. ඔය යුනිෆෝම්එක ගලවලා දාලා ගෙදර යන්න. මොකද යුනිෆෝම් එකෙන් වැඩක් නෑ පොලිසියෙ  සත්‍ය වෙනුවෙන් වැඩ කරන්න බැරිනම්. “

පසුගිය 11 දා මෙම අත්බෝමබ් සිද්ධියට අදාලව එදිනම දේවස්ථාන සේවකයෙකු ඇතුළු 04 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ ප්‍රකාශ කළේ මෙම සිද්ධියට  13 හැවිරිදි දරුවෙක් ද සම්බන්ධ බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධව අද කොළඹ  අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.   අද අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු  ලබන 25 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිනි. තුන්දෙනෙක් රඳවාගෙන ප්‍රශ්න කරන බව එම කොට්ඨාසය කීවේය.

Exit mobile version