බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජනපතිත් අන්දලා?

මැයි 09 අපරාධය වැලැක්වීම සඳහා    පොලිස්පතිවරයා විසින්  ලබා දුන් නියෝග  බස්නාහිර පළාත් භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්කෝන්   විසින් පිළිපැද නැති බවට පොලිස්පති ඩී.සී. වික්‍රමරත්න ඊයේ (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන්      ප්‍රකාශය අනුව පෙනී යන්නේ යැයි වාර්තා වේ.

08 වැනිදා ලැබුණු බුද්ධි වාර්තා මත පදනම්ව අරලියගහ මන්දිරයෙන් එන උද්ඝෝෂණය කිසිම හේතුවක් මත කිසිම පාරක ගමන් කිරීමට ඉඩ දීම වලක්වන ලෙස    බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත පොලිස්පතිවරයා විසින්  ලිඛිතව හා වාචිකව දැන්වූ බවත්, එසේ දන්වනු ලැබුවේ  එම බුද්ධි වාර්තාවේ පිටපතක් ද සහිතව  බවත් පොලිස්පතිවරයා විසින් ප්‍රකාශ කර ඇතැයි එම විමර්ශන ආරංචි මාර්ග කියයි.

එම ආරංචි මාර්ගවලට අනුව සිද්ධිය වාර්තා වන්නේ මෙසේය.

මැයි 08 දා සවස ලැබුණු  බුද්ධි වාර්තාවේ අවධාරණය කර ඇත්තේ පවතින තත්ත්වය තුළ ගෝල්ෆේස් වෙත නොව, පීඩාවට පත් වූ ජනතාව වෙසෙන රටේ කිසිම මාර්ගයක මේ උද්ඝෝෂකයින් ගමන් කිරීම ගැටුමකට තුඩු දිය හැකි බවයැයි පැවසේ.


ඒ තත්තවය තුළ  අරලියගහ මන්දිරයෙන් පිට උද්ඝෝෂණකයින් ගමන් ගන්නා මාර්ග සියල්ල මාර්ග බාධක දමා වසා දමා  පොලිස් ආරක්ෂාව තර කරන ලෙස  පොලිස්පතිවරයා වාචිකව උපෙදෙස් දී ඇතැයි වාර්තා වී  ඇත.

එහෙත් 09 වැනිදා උදෑසන සිට බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් උත්සාහ දරා ඇත්තේ පොලිස්පතිවරයාගේ නියෝග නොතකා  විවිධ දේශපාලකයින්ගේ නම් ප්‍රකාශ කරමින් උද්ඝෝෂකයින් ගෝල්ෆේස් පිටිය වෙත ගමන් කරවීමට ඉඩ සැලැසීම බව පොලිස්පතිගේ  ප්‍රකාශයෙන් පෙනී යන්නේ යැයි    විමර්ශන ආරංචි මාර්ග හෙළි කරයි.

ලැබුණු නියෝග නොතකා ජනාධිපතිවරයා මෙන්ම පොලිස්පතිවරයාත් නොමග යවමින්  බස්නාහිර පළාත් භාර ජ්‍යේෂඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා  හැසිරී ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් ඇතැයි ද එම විමර්ශන ආරංචි මාර්ග තවදුරටත් පවසයි.

සාමාන්‍ය කුඩා පෙළපාළියක් සංවිධානය වනවිටම  රාජකාරි ක්‍රමවේදය අනුව එම බලප්‍රදේශ ආවරණය කරන පොලිස් ස්ථාන අධිකරණ නියෝග රැගෙන මාර්ග බාධක දමා  පෙළපාළිය අවහිර කිරීමට උත්සාහ කළත්  මේ අවස්ථාව වැලැක්වීම සඳහා එවැනි කිසිම පියවරක් ගෙන නොතිබුණු බවත්, එවැනි මූලික පියවර සඳහා   පොලිස්පතිවරයා අණ කර කළ යුතු නැති බවත් පොලිස්පතිවරයා  පෙන්වා දී ඇතැයි ද තවදුරටත් ආනාවරණය වේ.

එමෙන්ම  09 වැනිදා උදෑසන පොලිස් ප්‍රධානීන්ගේ සූම් රැස්වීමේ දී මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා කොළඹ ආරක්ෂාව භාරව සිටින  සියලුම  උසස් පොලිස් නිලධාරීන් අමතමින් ජල සහ කඳුළු ගෑස් ප්‍රහාර තම නියෝගයෙන් පිට එල්ල නොකළ යුතු බවට දැඩිව අවධාරණය කර ඇති බවත් හෙළි වී ඇත.

සාමාන්‍යයෙන් කඳුළු ගෑස් හෝ වතුර ප්‍රහාර එල්ල කරන්නේ මාර්ග බාධක දෙකක් දැමීමෙන් පසු එම බාධක බිඳගෙන එන විරෝධතා කරුවන් විසුරුවා හැරීමට වුවත්   මාර්ග බාධක නොදමා, උද්ඝෝෂකයින් වැලැක්වීමට සාධනීය මැදිහත් වීමක් නොකර කඳුළු ගෑස් හා ජල ප්‍රහාර අයාලේ එල්ල කිරීම ගැන තොරතුරු ලැබෙමින් ඇතැයි ද විමර්ශන ආරංචි මාර්ග කියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විමර්ශන තවදුරටත් පැවැත්වේ.

Exit mobile version