පොහොට්ටුවේ පරිපාලන ලේකම්ට රස්සා හොයන්න සභාපති පුටු දඩයම් කළ හැටි PNF හෙළිකරයි

මිල්කෝ සමාගමේ නව සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පරිපාලන ‍රේණුක පෙරේරා මහතා පත්කර තිබෙන අතර මෙම පත්කිරීම පිළිබඳ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් විවේචනාත්මක කරුණු දැක්වීමක් කර තිබේ.

ඔවුන් පෙන්වා දෙන්නේ ආණ්ඩුව පසුගිය දිනවල රේණුක පෙරේරාට රැකියාවක් සොයමින් සිටි අතර ඒ සඳහා පසුගියදා ලීට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ඉවත් කොට පැය 2ක් තුළ ජනාධිපතිවරයාගේ නියෝගයකින් අවලංගු වූ බවය.

රුපියල් මිලියන 2000 බැගින් වාර්ෂිකව පාඩු ලබමින් සිටි මිල්කෝ ආයතනය වසරක් තුළ මිලියන 400ක ලාභයක් ලැබීමට තරම් දියුණු තත්වයට පත්කළ මිල්කෝ හිටපු සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා ඉවත් කරන ලද්දේ ඔහු දේශපාලන හෙංචයියකු නොවන නිසා බවද එම පෙරමුණ චෝදනා කරයි.


එමෙන්ම ඊයේ ජනාධිපති ලේකම්වරයා ලෙස පත්වූ ගාමිණී සෙනරත් මහතාගේ ඥාති පුත්‍රයකු සතු සමාගමකින් චීන සමාගමකින් පොහොර ගෙන්වීම සිදුව තිබෙන බවට ද එම පෙරමුණ නිවේනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

වත්මන් පත්කිරීම් සහ ඉවත්කිරීම් සමග තහවුරු වන ආණ්ඩුවේ නිරුවත

වත්මන් ආණ්ඩුව පත්වනුයේ තරුණයන්ගේ හදවත් කකියවමින් මහ මගට බැස, ඔවුන් අතින් බිත්ති පින්තාරු කෙරවෙන තරම් ජවයකින් යුතුවයි. ඒ එදා මතුවූ තරුණ ජවය මරාදමමින් මේ ආණ්ඩුව මගින් ඉතා අශෝභන වූ, මෙන්ම රටට ව්‍යසනකාරී වූ තීරණ රාශියක් ගනු ලැබිණ. තීරණ ගැනීමේදී දැක්වූ දුර්වලතාවන්ට හේතුව අනවබෝධය සහ අත්දැකීම් මදකම ලෙස දක්වා සිටියද දැන් සිදුකෙරෙන පත්කිරීම් සහ ඉවත්කිරීම් වලදී එය එසේ නොවන බැව් ඉතා පැහැදිලිය.

චීන සමාගමකින් පොහොර ගෙන්වීම ගාමිණී සෙනරත් මහතාගේ ඥාති පුත්‍රයෙකු සතු සමාගමකින් සිදුව තිබියදීම, ඒ හරහා ශ්‍රී ලංකාවට විශාල දඩයක් ගෙවීමට සිදුව තිබියදීම ඒ මහතාගේ සම්බන්ධයක් මේ සම්බන්ධයෙන් ඇත්දැයි බරපතල සැකයක් මතුව තිබියදීම ජනාධිපතිවරයාගේ ලේකම්වරයා ලෙස ඔහුවම පත්කිරීම ඉන් ප්‍රධාන ගැටළුවකි.

රේණුක පෙරේරා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන්නේ මිනිමරු චෝදනාවට වැරදිකරු ව සිරගතව සිට සමාව ප්‍රධානය කරන ලද දුමින්ද සිල්වාට අවස්ථාව සලසමිනි. මිනීමැරුම් චෝදනාවකට වරදකරු වූ අයෙකුට රජයේ මෙවන් උසස් තනතුරක් ලබාදීමම ගැටළුවකි. ඔහුට සමාව දුන්නා මිස අධිකරණයෙන් ඔහු නිදොස් කොට නිදහස් කළා නොවේ. තවද ඒ දිනවල රූපවාහිනියේ දිගින් දිගටම පෙන්වන ලද ඔහුගේ අසනීප තත්වයන් සහ මානසික තත්වයන් හමුවේ ඔහුගේ සුදුසුකම් පරීක්ෂා කළ යුතු පාර්ලිමේන්තු කාරක සභාව කවර තීරණයක් ගත්තේ දැයි තවමත් කිසිවෙකුත් නොදනී.

දැන් ඒ ඉල්ලා අස්වූ රේණුක පෙරේරාට රැකියාවක් සොයමින් විවිධ ආයතනයන්හි සභාපතිවරුන් ඉවත් කරමින් ඔහුට තනතුරක් සොයමින් සිටීයදිී මීට සතියකට පමණ පෙර ලිට්‍රෝ සභාපති ඉවත් කරමින් රේණුක පෙරේරා පත්වූ අතර ජනාධිපතිවරයාට පැය දෙකක් ඇතුළතදී මැදිහත්ව එම තීරණය වෙනස් කිරීමට සිදුවිය. පොදුජන පෙරමුණ නමැති දේශපාලන පක්ෂය විසින්, වත්මන් ජනාධිපතිවරයා නොතකා මේ සියල්ල සිදු කරන බව වැටහෙන්නේ රේණුක පෙරේරා යනු පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා වන හෙයිනි. ජනාධිපතිවරයාගේ සුපුරුදු තීරණය වන හිටපු හමුදා ප්‍රධානියෙකුට පවරා සියල්ල නිවැරදිවනු ඇතැයි යන ඔහුට හුරු සිහිනය වෙත මේ අවස්ථාවේදී යොමු නොවීමද ඒ බැව් තහවුරු වීමට තවත් හේතුවකි.

එහි වර්තමාන ප්‍රතිඵලය ලෙස මිල්කෝ සමාගමේ වත්මන් සභාපති ලසන්ත වික්‍රමසිංහ වෙනුවට යළිත් රේණුක පෙරේරා පත් කිරීමට සූදානම්ව තිබීමයි. මිල්කෝ සමාගමේ සභාපති ධූරය දරණ තෙක් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ ප්‍රභල ක්‍රියාකාරිකයෙකු ලෙස අප සමග කටයුතු කළ ඔහු, මිලියන 2000කින් පාඩු ලබා තිබුණු මිල්කෝ සමාගම වසරකට මිලියන 400ක ලාභයක් ලබන තැනට ගෙන ආ අතර කිරි ගොවියන්ට ලැබෙන මුදල 30% ඉහළ නංවන ලදී. කොරෝනා පැතිරයන අතරදී ගෙන ආ මේ වෙනස දේශපාලන හෙංචයියෙකු නොවන තරුණයෙකු අතින් වූ නිසාදෝ ගත් මේ තීරණය සමග තවදුරටත් වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ජනතාව ලෙස කිසිදු විශ්වාසයක් නොතැබීම නිවැරදි බැව් තහවුරුව තිබේ.

එදා බිත්ති පින්තාරු කළ තරුණයාට අද ආණ්ඩුවෙන් ලැබී ඇත්තේ තද කනේ පහරකි. ඒ තරුණයා නැවත හැරී කණේ පහර දීමට මත්තෙන්, වත්මන් ජනාධිපතිවරයා සතුව යම් අල්පවූ අවංක භාවයක් හෝ පෞරුෂයක් වේ නම් සමාජය ඉදිරියේ තමා රූකඩයක්ව ඇත්ද නැද්ද යන්න සිතා බැලීමටත් , ඔහුට ඡන්දය දුන් නොදුන් ජනතාවට, අවස්ථාවාදීන්ගෙන් රට බේරාගැනීමට එක්වන ලෙස ඉල්ලා සිටීමටත් නිහතමානී වන ලෙස අවසාන වශයෙන් ඉල්ලා සිටින්නෙමු.

මෙයට,

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉංජිනේරු කපිල රේණුක පෙරේරා
ලේකම් – වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

Exit mobile version