පොලිස්පතිගේත් හිස ගිනි ගනී! – ඕ.අයි.සී.ලා පත්කිරීමත් අවුලෙන් අවුලට

පොලිස් ස්ථානාධිපතිධුර පත්කිරීමේදී දැඩිව දේශපාලන බලපෑම් එල්ලවන බැවින් සුදුසුකම් ඇති නිලධාරීන් පොලිස් ස්ථානාධිපතිවරුන් ලෙස පත්කිරීමට නොහැකිව පොලිස්පති දැඩි කලකිරීමකට ලක්ව සිටින බව පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සදහන් කරයි.

මේ වන විට සබරගමුව පළාතේ පොලිස් ස්ථානයකටද පොලිස්පතිවරයාගේ දැඩි විරෝධය මත පත්කර ඇති ස්ථානාධිපතිවරයෙක් මංකොල්ලකෑමක් සම්බන්දයෙන් චෝදනා එල්ලවූවෙක් බව සදහන්ය.

එම නිලධාරියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනයකින් ඔහුට එරෙහිව පියවර ගැනීමට නීතිපති උපදෙස් ලැබෙනතුරු බලා සිටින බව සදහන්ය.


දූෂිත නිලධාරියෙක් වන ඔහුව එම තනතුරට පත්කරන ලෙසට දැඩිව දේශපාලන බලපෑම් එල්ලවී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයද ඒ සම්බනධයෙන් අසරණව ඇති බවත් අභ්‍යන්තර තොරතුරු සදහන් කළේය.

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට අතවර කිරීමට ගොස් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරගත කර සිටින ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයාද එම තනතුරට පත්කිරීමට පොලිස්පති මෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා දැඩිව විරෝධය දක්වා තිබේ.

එසේ තිබියදී ඔහු ස්ථානාධිපතිධුරයටපත්ව කෙටි කලක් තුල මෙසේ බන්ධනාගාරගත විය.

මේ අතර රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස සේවය කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මැල්කම් ජෙට් මහතාව ඉතුත් 24 වෙනිදා සාමාන්‍ය රාජකාරි සදහා මහනුවර පොලිස් කොට්ඨාශයට ස්ථානමාරුකර ප්‍රධාන කුරුණෑගල කොට්ඨාශයේ සේවයේ නිරතව සිටි ජයකොඩි නැමැති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙක් එම තනතුරට පත්කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබුණි.

තමාගේ අනු දැනුමෙන් පිට එම පත්කිරීම කළ බව සදහන් කරමින් සබරගමුවේ දේශපාලනඥයෙක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්ට දැඩිව බැන බැදී ඉහළ දේශපාලන අධිකාරියට ඒ ගැන පැමිණිලිකරමින් නව පත්වීම අත්හිටුවීමට පියවර ගෙන ඇත.

අදාල දේශපාලන බලවතා සදහන්කර ඇත්තේ තමන් නම් කරන නිලධාරියාව ස්ථානාධිපතිලෙස පත්කරන ලෙසය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සීතාවක පොලිස් කොට්ඨාශය භාරව මෙයට පෙර පත්කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙක්ටද මෙවන් අත්දැකීමකට මුහුණ දීමට සිදුවූ අතර ඔහුට පැය 24 කට වඩා සේවයේ නිරත වීමට ඉඩක් නොවීය.

Exit mobile version