ප්‍රවීණ නර්තනාචාර්‍ය කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වෙයි

තුෂරී කළුබෝවිල

ප්‍රවීණ නර්තනාචාර්‍ය කුලසිරි බුදවත්ත මහතා අභාවප්‍රාප්ත වෙයි.

දේශීය සාම්ප්‍රදායික උඩරට හා පහතරට නර්තන කලාව ලෝකප්‍රකට කරමින් එහි ප්‍රගමනය උදෙසා සුවිශේෂ කාර්ය භාරයක් ඉටු කරන ලද ඒ මහතා
නර්තන පරම්පරා ගණනාවකට ගුරු වූ අතර එතුමන් යටතේ උඩරට වෙස් නර්තනය හදාරා වෙස් බැඳ ශිල්පීයත්වයට පත්වූ සිසු පිරිස අති විශාල ය.


අරනායක බුදවත්ත පුංචි ගුරු නම් වූ සිය පියාගෙන් පාරම්පරික නර්තන කලාව හදාරමින් නර්තන කලාවට පිවිසි කුලසිරි බුදවත්තයන් පසුව ප්‍රවීණ නර්තනාචාර්‍ය පණී භාරතයන් යටතේ නර්තන කලාව වැඩිදුර ප්‍රගුණ කළේ ය.
ජාතික තරුණ සේවා සභාවේ යොවුන් නර්තන කණ්ඩායම භාරව බොහෝ කලක් කටයුතු කළ බුදවත්තයන් විසින් එතැන් පටන් ශ්‍රී ලංකික සාම්ප්‍රදායික නර්තන කලාව නගා සිටුවීමෙහිලා අප්‍රමාණ කාර්ය භාරයක් ඉටු කරන ලදි.

පසු කාලීන ව රූපවාහිනී සංගීත වැඩසටහන් හා ප්‍රසංග වේදිකාවට නර්තන කලාව රැගෙන යමින් එය ජනප්‍රිය සංස්කෘතිකාංගයක් බවට පත් කිරීමෙහිලා ඔහු මූලික වූයේ ය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මිය යන විට 71 වැනි වියේ පසු වූ ඒ මහතා කලක් රෝගී ව සිට ගල්කිස්ස කලාපුර පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී ඇත. ප්‍රවීණ නර්තනාචාර්‍ය නේමාලි බුද්වත්ත මහත්මියගේ දයාබර සැමියා වන කුලසිරි බුදවත්තයන් පන්සිළු බුදවත්තගේ ආදරණීය පියාණන් ය.

Exit mobile version