නිධානයක රන් විකුණන බව කියා ධනවතුන් කොල්ල කෑ දොස්තර සොයයි

දොස්තරත් සමග ව්‍යාපාරිකයෙකුත් හවුල්... තවත් දෙදෙනෙක් අත්අඩංගුවට

විකුම් වික්‍රමසිංහ-

නිධානයකින් ගොඩගත්  රත්රන් කිලෝවක් රුපියල් ලක්ෂ 75කට අලෙවි කරන බව පවසමින් ඒවා මිලදී ගැනීමට පැමිණෙන ව්‍යාපාරිකයන් කොල්ලකෑමට ලක් කරමින් සිටි  කොල්ල කල්ලියක සාමාජිකයින් දෙදෙනෙක් බස්නාහිර පළාත් දකුණ අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව  මෙම ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරයකු සහ ව්‍යාපාරිකයෙක් සම්බන්ධයෙන්ද තොරතුරු ලැබී ඇති අතර ඔවුන් සම්බන්ධයෙන්ද මේ වනවිට විමර්ශන ආරම්භ වී ඇති බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් ඇඹිලිපිටියේ තුංකම සහ සුල්තානාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන්  වයස අවුරුදු 41 ත් 42 අතර පසුවන්නන් බව පොල්ස් මූලස්ථානය පවසයි. මෙම වැටලීම බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට ලද තොරතුරකට අනුව සිදුව තිබේ.

මෙම කල්ලිය ගැන ලද තොරතුරට අනුව පොලිස් නිලධාරීන් ව්‍යාපාරික වෙස් ගෙන රත්තරන් මිලදී ගැනීමට ගිය අවස්ථාවේදී ඔවුන් මුදල් කොල්ලකා පළායාමට සූදානම් වූ බවත් එහිදී ඔවුන්ව අත්අඩංගුවට ගත් බවත් පොලිස් මූලස්ථානය සදහන් කරයි.


පසුගිය 29 වැනිදා බත්තරමුල්ලේදී මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඊට සම්බන්ධ වෛද්‍යවරයා සහ ව්‍යාපාරිකයා  පිළිබඳව ඔවුන්ගේ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ. සැකකරුවන්  කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බස්නාහාර පළාත් දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ඨාශයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී ලලත් අබේසේකර ගේ මෙහෙයැවීමෙන් එම ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මෙම වැටලීම කර තිබේ.

Exit mobile version