දියර පොහොර එපා… නියම පොහොර දෙන්න… පොලොන්නරු ගොවිගෙවල්වල හෙට කළු කොඩි එසවෙයි!…

රසායනික පොහොර සියයට පනහක් හෝ දුන්න දවසට වගාව පටන් ගන්නම්... ගොවි සංවිධාන රජයට කියයි!

අද වැලිකන්ද රුහුණුකෙත වෙල් යායේ පැවති උද්ඝෝෂණය...

මනම්පිටිය නිමල් ජයරත්න –

විධිමත් පොහොර ලබා නොදීම සඳහා රජය ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් හෙට (25) සිට පොලොන්නරුව  දිස්ත්‍රික්කයේ සෑම ගොවි නිවසකම  කළු කොඩියක් ඔසවා විරෝධය පළකිරීමට ගොවි සංවිධාන තීරණයකර තිබේ.

ඔවුන් මෙම තීන්දුව ගෙන ඇත්තේ  කාබනික පොහොර වෙනුවට රසායනික  පොහොර ලබාදෙන ලෙසට රජයට  බලකරමින් අද ( 24 ) දහවල්  මහවැලි බී කලාප  ගොවි සංවිධාන රැසක නියෝජිතයන් සහ ගොවීන් වැලිකන්ද  රුහුණුකෙත  වෙල් යායට බැස කළ දැවැන්ත උද්ඝෝෂණයෙන් අනතුරුවය.

සමස්ත ලංකා  ගොවිජන සම්මේලනයේ ලේකම් ටී.බී   සරත් ගේ  සහභාගිත්වයෙන්  මෙම උද්ඝෝෂණය පැවති අතර   ඒ  සඳහා  මහවැලි බී  කලාපයේ ගොවි නියෝජිතයන් සහ ගොවීහු 1000 කට ආසන්න ප්‍රමාණයක් කලු කොඩි අතැතිව උද්ඝෝෂණයක නිරත වූහ.


මෙහිදී ගොවි උද්ඝෝෂකයින්  සඳහන් කළේ රජය  මෙරටට    ගෙන්වන ලද දියර  පොහොර   වී වගාව සඳහා කිසිවෙක් බාර නොගන්නා බවය.

මේ  මස 25 වෙනිදා   මාදුරුඔය ජලාශය යටතේ  ශ්‍රි ලංකා මහවැලි  අධිකාරිය මහවැලි බී කලාපයේ අක්කර හැට දහසක් සඳහා දියවර නිකුත් කිරීමට  යෝජිතව තිබුණද   රසායනික පොහොර ලබා දෙන තුරු තමන් වී වගා   නොකරන බව ඔවුහු  කීහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාස දෙකක් හෝ පසුවී  රසායනික පොහොර මුලු ප්‍රමාණයෙන් සියයට පනහක්වත්     ලබාදීමට රජය පියවර ගත හොත් තමන් එම අවස්ථාවේ සිටම වී වගා කිරීමට සූදානම් බවද උද්ඝෝෂකයෝ මෙහිදී සඳහන් කළහ.

 

Exit mobile version