තෙල් සැපයීමේ අවසරයක් නැති සමාගමකින් බොරතෙල් නැවක් ඇවිත්!

ශ්‍රී ලංකාවට මාස හතරක කාලයක් සඳහා බොර තෙල් සැපයීමට   ටෙන්ඩරය පිරිනමන ලද සමාගම  එම සැපයුම සිදු නොකර රජයේ කිසිදු අවසරයකින් තොරව වෙනත් සමාගමක් හරහා ශ්‍රී ලංකාවට බොර තෙල් සපයා ඇති අතර මෙම බොර තෙල් තොගය කිසිදු මත විමසීමකින් තොරව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ගොඩ බාගෙන ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථා ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම ගනුදෙනුව සඳහා නීතිපතිවරයාද විරෝධය දක්වා ඇති අතර බොර තෙල් මිලදී ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුවද මෙම ඛනිජ තෙල් ගොඩබෑම සම්බන්ධයෙන් විරෝධය දක්වා ඇත.

පවතින තත්ත්වය සාධාරණීකරණය කොට මෙම ගනුදෙනුව වෙනස් කිරීම සඳහා බලශක්ති අමාත්‍යංශය යළිත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා ඇති බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කරයි.

ලංකාසර ට කරුණු අනාවරණය කළ ආරංචි මාර්ගවලට  එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි ඩීඑම්සීසී සමාගමට 2023 ජනවාරි 1 දා සිට අප්‍රේල් 30 වනදා දක්වා මාස 4ක කාලයක් තුළ රුසියානු බොරතෙල් නැව්ගත කිරීම් තුනක් සඳහා 2022 දෙසැම්බර් 19 දා කැබිනට් අනුමැතිය ලබා දී ඇත.


එහි පළමු බොරතෙල් නැව, ගිවිසුමට අනුව මාර්තු 6 හා 7 දිනවල ගොඩබෑමට නියමිතව තිබුණ ද එම දිනය අපගමනය කරමින් නැව ළඟා වි ඇත්තේ මාර්තු 25 වෙනදා ය.

කෙසේ වුව ද, එම ටෙන්ඩරය සපයා ඇත්තේ අදාළ සමාගම විසින් නොවන අතර එම තොගය සපයා ඇත්තේ  ඩුබායි හි පොන්ටස් ට්‍රේඩින් (Pontus Trading)  නම් සමාගමයි.

මෙම සමාගමට ශ්‍රි ලංකාවට ඛනිජ තෙල් සැයීමට කිසිදු නෛතික බලයක් නැති අතර ටෙන්ඩර පිරිනැමූ සමාගමට පිටතින් වෙනත් සමාගමකින් බොරතෙල් සැපයුම ලබා ගැනීමද නීත්‍යනුකූල නොවන තත්ත්වයක් බලධාරීන් විසින් පෙන්වා දී තිබුණද සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ තෙල් හිඟයක් ඇති වීම රටේ ඉන්ධන අර්බුදයක් මතුවීම වැනි අවශ්‍යතා ඉස්මතු කරමින් මෙම තෙල් නැව කිසිදු අනුමතියකින් තොරව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් සිය ගබඩාවලට යොමු කරගෙන ඇති බව සඳහන් වේ.

කෙසේ වුවද නියමිත දිනට බොර තෙල් තොගය නොඑවූ කොරල් එනර්ජි සමාගම නැව පැමිණීමට දින දෙක තුනකට පෙර ටෙන්ඩරය තෙල් සපයන්නා වූ පොන්ටස් සමාගම වෙත අදාළ ගිවිසුම සහ  සැපයුම පවරන ලෙස ඉල්ලා ඇතත් ඊට මෙතෙක් අනුමැතිය හිමිව නැති බව සඳහන් වේ.

මෙම  ටෙන්ඩරය ලබාගත් ලංසුකරු වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොරල් එනර්ජි සමාගම හැර වෙන සමාගමක් වෙනත් බොර තෙල් සැපයීම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කර ඇති ප්‍රසම්පාදන කමිටුව විරෝධය පළ කර ඇත.

ඒ පිළිබඳව නීතිපතිවරයාගෙන් ද මත විමසීමක් කර ඇති අතර එවැනි අනුමැති කිරීමක් සඳහා මෙවැනි ප්‍රසම්පාදන කමිටුවලට බලයක් නොමැති බව පවසා ඇතැයි සඳහන් වේ.

ඒ අනුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ප්‍රසම්පාදන කමිටුව අවධාරණය කර ඇත්තේ, තමන් විසින් අනුමත කරන ලද ටෙන්ඩර් ලේඛනවලින් බැහැරව, ටෙන්ඩරයට සම්බන්ධයක් නොමැති වෙනත් පාර්ශවවලින් සැපයුම් ලබා ගැනීම අනුමත කළ නොහැකි බවයි.

එසේම, ප්‍රසම්පදාන කොන්ත්‍රාත් කළනාකරණය කිරීමේදී සැලකිල්ලෙන් හා අනරත්ව ක්‍රියා කළ යුතු බවත්, කොන්ත්‍රාත් කලමනාකරණයේදී මෙහෙයුම් බාධාවක් ඇති නොවන පරිදි ටෙන්ඩර් කොන්දේසි කෙටුම්පත කිරීමේදී උපරිම ප්‍රවේශම් විය යුතු බවත්, මෙම විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවධාරණය කර ඇති බවත්  වාර්තා වෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම තත්ත්වය මත අදාළ ටෙන්ඩර් ගිවිසුම නීතිපතිවරයාගේ මතයට ගරු කරමින් මුලින් ටෙන්ඩරය පිරිනමන ලද සමාගම ශ්‍රී ලංකාවට බොරතෙල් සැපයූ සමාගම සමඟ ත්‍රෙපාර්ශවික ගිවිසුමක් අත්සන් කිරීමට ඛනිජ තෙල් සමාගම  අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉල්ලා ඇති බවද මෙම අරංචි මාර්ග සඳහන් කළේය.

Exit mobile version