ටියුෂන් පන්තියේ සිසුන් දෙගුණ කිරීමට අවසර – බදු ගැනත් යළි සැළකේ

දහසකට අධික සිසුන් සංඛ්‍යාවකට අධ්‍යාපනය ලබාදුන් උපකාරක පන්තිවල සිසුන් 250කට සීමා කිරීම අසීරු බැවින් කාලපාරස දෙකකදී සිසුන් 500කට ඉගැන්වීමේ අවස්ථාව ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අනුමැතිය ලබා දී ඇත.

උපකාරක පන්ති ගුරුවරුන් නියෝජනය කරන සමස්ත ලංකා වෘත්තීය දේශකවරුන්ගේ සංගමය ඊයේ ජනාධිපතිවරයා වෙත තම ගැටලු ඉදිරිපත් කිරීම සඳහා හමු වූ අවස්ථාවේදී සෞඛ්‍ය විශේෂඥයින්ගේ ද උපදෙස් ඇතිව ජනාධිපතිවරයා මෙම අනුමැතිය ලබා දී ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් ඇතිවූ අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු පිළිබඳව පැහැදිළි කළ උපකාරක පන්ති ගුරුවරුන් මෙම වසරේ විභාග පැවැත්වීමේ දිනයන්ද වෙනස් කිරීම පිළිබඳව අවධානය යොමු කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.


ගුරුවරුන්, දෙමාපියන් සහ සිසුන් සමග පූර්ණ අධ්‍යයනයකින් පසු විභාග දින තීරණය කිරීම යළිත් සලකා බැලීමට අධ්‍යාපන අමාත්‍යවරයාට ජනාධිපතිවරයා උපදෙස් දී තිබේ.

පාසල් වසා තැබීම හේතුවෙන් විෂය නිර්දේශ ආවරණය කිරීමට නොහැකිවීම පිළිබඳව ගරුවරුන්, දෙමාපියන් සහ සිසුන් ජනාධිපතිවරයා වෙත අවස්ථා ගණනාවකදී කරුණු ඉදිරිපත් කර තිබේ.

ඒ ගැන අවධානය යොමු කළ ජනාධිපතිවරයා විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී වැඩි ප්‍රශ්න සංඛ්‍යාවක් ඇතුළත් කර සිසුන්ට තෝරා ගැනීමේ වැඩි අවස්ථාවක් දීමේ හැකියාව සොයා බලන්නැයි විභාග කොමසාරිස්වරයාට දැනුම් දුන්නේය.

අධ්‍යාපන සේවා බදු ප්‍රතිශතය 24%ක් වන අතර එය සං‍ශෝධනයට උපකාරක පන්ති ගුරුවරුන් කළ ඉල්ලීම සලකා බැලීමට ද ජනාධිපතිවරයා එකඟ වි ඇත.

උපකාරක පංති ප්‍රචාරණය සඳහා අත්පත්‍රිකා බෙදාහැරීම් සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව කිරීමට ද අනුමැතිය හිමි විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමාත්‍ය ඩලස් අලහප්පෙරුම, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අධ්‍යාපන ලේකම් එන්.එච්.එම් චිත්‍රානන්ද, සෞඛ්‍ය ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ යන මහත්වරු සහ උපකාරක පංති සංගම් කිහිපයක නියෝජිතයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

Exit mobile version