‘ජේලර් මැරුවෙත් මම’ යයි කී කතාවට පොඩි ලැසීට වෙනම පරීක්ෂණක්

පසුගියදා බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් සම්බන්ධ විමර්ශණයට ගිය බන්ධනාගාර කොමසාරිස්වරුන් තිදෙනකු හමුවේ ජනාධිපතිවරයාට සහ ආරක්ෂක ලෙකම්වරයාටද තර්ජනාත්මකව අභියෝග කළ බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා සිටින දරුණු ඝනයේ අපරාධකරුවකු වන පොඩිලැසී හෙවත් ජනිත් මධුසංඛ ද සිල්වා බන්ධනාගාර ජේලර්වරයකු ද තමන් ඝාතනය කළ බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විශේෂ විමර්ශණයක් සිදු කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මෙම ජේලර්වරයාගේ ඝාතනය පසුපස බන්ධනාගාරයේ ම ඉහල තලයක සිටින දූෂිත නිලධාරියකුගේ සම්බන්ධයත් ද පවතින බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් මේ පිළිබඳවද අවධානය යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

මත්කුඩු ජාවාරමට මෙන්ම මිනිස් ඝාතනය සහ තවත් අපරාධ ගණනාවකට චෝදනා ලබා ඇති පොඩි ලැසී නැමැත්තා දැන් කලක පටන් බන්ධනාගාරගතව සිටින අතර ඔහු ත් කොස්ගොඩ තාරක සහ කැවුමා නම් අපරාධකරුවන් තිදෙනා පසුගියදා බන්ධනාගාර කොමසාරිස්වරුන් තිදෙනකු වන චන්දන ඒකනායක, තුසිත උඩුවර, සහ ප්‍රේමතිලක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විමර්ශණ කටයුත්තක් සඳහා ගිය අවස්ථාවේදී මෙම නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්ද මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් සිදුකරමින් පවතින අතර මෙම විමර්ශණය ආරම්භ වන්නේ ඊට අමතරව ය.


මෙම විමර්ශණ පිළිබඳව අවධානය යොමු වීමට හේතු වී ඇත්තේ පොඩි ලැසී විසින් බන්ධනාගාර කොමසාරිස්වරුන් හමුවේ “ජේලර් මැරුවෙත් මම.“ යනුවෙන් කළ සඳහනයි. මෙම සිදුවීමට ලක් වූ ජේලර්වරයා වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ලෙස කටයතු කළ තිලිණ රුවන් ජයරත්න නම් ජේලර්වරයා බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම ජේලර්වරයා 2019 වසරේ අගෝස්තු මස 03 වැනිදා තම පුතුගේ ශීෂ්‍යත්ව විභාගයට පෙර දින පැවැති බොධි පූජාවක් සදහා සහභාගී වීමට නිවසට යමින් සිටියදී ඝාතනය වන්නේ අම්බලන්ගොඩ කුලිගොඩ හන්දියේදීය.

මෙම ඝාතනයට පොඩි ලැසී සමඟ සමීප සබඳතාවක් පවත්වන බන්ධනාගාරයේ ඉහළ නිලධාරියකුද සම්බන්ධ බවට තොරතුරු වාර්තා වී ඇති අතර මේ පිළිබඳවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බව සඳහන් වේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉදිරියේදී මෙම සිදුවීම් දෙකම සම්බන්දයෙන් චෝදනා ලත් බන්ධනාගාරගත අපරාධකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට ලක්වනු ඇති බව පොලිස් ආචරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

Exit mobile version