ජී.එස්.පී ප්ලස් දෙන්න…  ලෝකයට පිළිගත හැකි සේ මානව හිමිකම් හදාගන්න…

GSP+

ශ්‍රි ලංකාවට යුරෝපයෙන් හිමිව තිබෙන අපනයන භාණ්ඩ සඳහා වන ජී.එස්.පී ප්ලස් සහනය ඉදිරියේදී ලැබීම පිළිබඳ ඉරණම ඉදිරි කාලය තුළ ශ්‍රි ලංකාව මානව හිමිකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආකාරය අනුව තීරණය වනු ඇති බවත් 2022 වසර වනවිට දැනට ශ්‍රි ලංකාවේ පවතින    ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත  ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූලව සංශෝධනය වී සකස් විය යුතු බවටද යෝජනා කර තිබේ.

ශ්‍රි ලංකා පාර්ශ්වයද ඊට එකඟතාව පළ කර ඇති බව යුරෝපා සංගමය සහ යහපාලනය, නීතියේ ආධිපත්‍යය  සහ මානව හිමිකම් පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රියාකාරී කණ්ඩායම  ඒකාබද්ධව නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

පසුගිය 27 වැනිදා මෙරටට පැමිණි යුරෝපා සංගමයේ ජී.එස්.පී ප්ලස් සහනයට අදාළ නිර්නායක පිළිබඳව සමාලෝචනය කිරීමේ දූත කණ්ඩායම පසුගිය දින කිහිපය පුරා අදාළ ක්ෂේත්‍ර සමඟ සාකච්ඡා පවත්වා ඇති අතර අදාළ සමාලෝචනයට බඳුන් වන අංශ පිළිබඳ ව පුළුල්ව විමර්ශනය කිරීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කර තිබේ.


ශ්‍රි ලංකා කමිටුව මෙහිදී යුරෝපා සංගමය කොවිඩ් වසංගතය අවස්ථාවේදී ශ්‍රි ලංකාවට කොවැක්ස් පහසුකම හරහා ලබා දුන් එන්නත් ඇතුළු වෛද්‍ය පහසුකම් පිළිබඳව අගය කළ අතර ඉතා සුහද පසුබිමක මෙම සාකච්ඡාව පැවැත්වූ බව එම නිවේදනයේ දැක්වේ.

20 ගැනත් විමසයි

එම නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ යුරෝපා දූත පිරිස මෙරට අධිකරණයේ ස්වාධිනන්තවය, 20 වැනි  සංශෝධනයෙන් පසුව රටේ ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ක්‍රියාවලිය ‍මෙන්ම මෙරට ස්වාධීන ආයතන ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන්ද ඇගයීමකට ලක් කර ඇති බවය.

එහිදී  ස්වාධීන ආයතනවල ස්ථාවර පැවත්ම සහතික කළ යුතු බව දෙපාර්ශ්වය විසින්ම පිලිගනු ලැබ තිබේ. එසේම ත්‍රස්තවාදයට සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව සටන් කරන විට ජාත්‍යන්තර සම්මතයන් සහ මානව හිමිකම්වල ප්‍රමිතීන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරිණි.

අධිකරණ අමාත්‍යාංශය විසින් නිලධාරීන්, ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ නිල හා නිල නොවන නීනීඥ සංගම්වල සාමාජිකයින් එක් කර ගත් උපදේශන ක්‍රියාවලීන් තුළින් ක්‍රියාත්මක කෙරෙන පුළුල් නීති ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව ශ්‍රී ලංකාව යුරෝපා සංගමය යාවත්කාලීන කර ඇත.. මෙම ක්‍රියාවලිය තුළ පුළුල් උපදේශන ක්‍රියාවලියක් පිළිබඳව සලකා බැලීම සඳහා යුරෝපා සංගමය ශ්‍රී ලංකාව දිරිමත් කර ඇති බව මෙම ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.

සිවිල් සමාජය සම්බන්ධ කර ගැනීමේ වැදගත්කම සහ එහි සියලු විවිධත්වයන් තුළ ක්‍රියාත්මක වීමට අවශ්‍ය අවකාශය ලබා දීම පිළිබඳව යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව එකඟ විය. මෙම ප්‍රයත්නවල දී ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම සඳහා සිය සූදානම යුරෝපා සංගමය ප්‍රකාශ කළේය.

මරණ දඬුවමට විරෝධය

කවර තතත්වයක් යටතේ වුවද      මරණ දඬුවම ලබා දීම සඳහා සිය විරෝධය යුරෝපා සංගමය යළි අවධාරණය කළේය. එය අඛණ්ඩව පවතින අත්හිටුවීම පිළිගත් යුරෝපා සංගමය, මරණ දඬුවම විධිමත් ලෙස අහෝසි කිරීම සඳහා පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකාව දිරිමත් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ යුරෝපා අංශයේ අධ්‍යක්ෂ ජනරාල් මනීෂා ගුණසේකර මහත්මිය සහ යුරෝපා බාහිර ක්‍රියාකාරී සේවාවේ දකුණු ආසියා අංශයේ ප්‍රධානී ඉඔවානිස් ජියොකාරාකිස්-ආගිරොපොලස් මහතා මෙම ක්‍රියාකාරී කණ්ඩායමේ සම සභාපතිත්වය දැරූහ.

Exit mobile version