ජනවාරියේ සිට විදුලි බිල යළි වැඩිවෙයි… පවතින බිලට වඩා සියයට 70ක වැඩිවීමක් ලංවිම ඉල්ලයි!

electricity bill

ලබන ජනවාරි සහ ජූනි මසවලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමතිය හිමි වී තිබේ. පසුගිය කාලය තුළ විදුලි ගාස්තු වැඩි කළද එය විදුලිබල මණ්ඩලයේ පාඩුව පියවා ගැනීමට ප්‍රමාණවත් නොවන බැවින් විදුලි බිල වැඩි කිරීම සඳහා කළ ඉල්ලීමට මේ වන විට කැබිනට් අනුමැතිය හිමිවූ බව “ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී” ඊයේ (29) අනාවරණය විය.

මේ අනුව 2023 ජනවාරි සහ ජූනි මාසවලදී පියවර දෙකකින් විදුලි ගාස්තු වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවද ඒ අනුව මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය සඳහා අදාළ කටයුතු සිදු කිරීමට නියමිත බවද විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ සභාපතීත්වයෙන් පැවති “ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදී මෙම කරුණු අනාවරණය විය.

විදුලි බල ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසදීමට අදාළ යෝජනා ලබා ගැනීම සදහා විදුලි බල ක්ෂේත්‍රයට අදාළ රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නියෝජිතයන් මෙම රැස්වීමට කැඳවා තිබිණි.


දැනට පවතින පාඩුව පියවා ගැනීමට නම් විදුලි බිල 70%කින් පමණ වැඩි විය යුතු බවත් විදුලි බල මණ්ඩල නියෝජිතයෝ මෙහිදී පැවසූහ.
විදුලි බල මණ්ඩල පාඩුව පියවා ගැනීමේ අරමුණින් විදුලි ගාස්තු වැඩි කළද එය දැරිය නොහැකි මට්ටමක පැමිණ ව්‍යාපාර ආදිය කඩා වැටීමේ අවධානම පිළිබදවද කමිටු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මේවන විට විදුලිබල මණ්ඩලය බැංකු සහ විදුලි බල සැපයුම්කරුවන් ඇතුළු විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ණය ලෙස රු බිලියන 650කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත් මෙහිදී අනාවරණය විය.

ඉන් රු. බිලියන 35කට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තිය සැපයූ ආයතන සඳහා ගෙවීමට ඇති බවත් තාප විදුලිය සැපයුම්කරුවන්ට රු. බිලියන 75 කට ආසන්න මුදලක් ගෙවීමට ඇති බවත් විදුලිබල මණ්ඩල නියෝජිතයෝ මෙහිදී පැවසූහ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව ඉදිරියේදී ලබා ගැනීමට අපේක්ෂා කරන රු. බිලියන 50ක ණය මුදලින් මෙම සැපයුම් කරුවන්ට ණයවලින් යම් කොටසක් හෝ ගෙවීමට අපේක්ෂා කරන බවද ඔවුහු පැවසූහ.

Exit mobile version