ඡන්දය කල්දාන පෙත්සම් විභාගයට නොගෙන ඉවත් කරන්න… නීතිපති අධිකරණයෙන් ඉල්ලයි

මැතිවරණ තියන්න පුලුවන්... සෞඛ්‍ය ප්‍රශ්න නෑ.... අනිල් ජාසිංහ මැතිවරණ කොමිසට නිල වශයෙන් දන්වයි.

ලබන ජූනි මස 20 දා මහා මැතිවරණය  පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය  අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණු  පෙත්සම් විභාගයට ලක් නොකර ඉවත් කරන ලෙස අද (22)  නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දැන්වූයේය.

සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ විසින් මැතිවරණය පැවැත්විය හැකි පරිසරයක් රටේ පවතින බව නිල වශයෙන් මැතිවරණ කොමිසමට  දැනුම් දීම මත පදනම්ව නීතිපතිවරයා විසින් මෙම දැනුම් දීම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇතැයි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ප්‍රාකශ කළේය.

මෙම පෙත්සම් විභාග  කිරීම පසුගිය 18 දා  පංච පුද්ගල විනිසුරු මඩුල්ලයක් හමුවෙ ඇරඹුණේය.


අගවිනිසුරු ජයන්ත ජයසූරිය මෙම පංච පුද්ගල විනිසුරු මණ්ඩලයේ සභාපතිත්වය දරයි. සෙසු සාමාජිකයන් වන්නේ බුවනෙක අලුවිහාරේ, සිසර තාබෘෘ, විජිත් මලල්ගොඩ හා ප්‍රියන්ත ජයවර්ධනය.

සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ පාඨලී චම්පික රණවක, නීතිඥ චරිත ගුණවර්ධන ඇතුළු පිරිසක් විසින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම මගින් නීතිපතිවරයා සහ  මැතිවරණ කොමිසම ඇතුළු පාර්ශව කිහිපයක් වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇත.

ජූනි මස20 දා මහ මැතිවරණයට දින නියම කිරීම ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනවලට පටහැනි බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය දින සිට මාස තුනක් ඇතුළත නව පාර්ලිමේන්තුවක් පත් කිරීමට ඇති හැකියාව අහිමිවීමෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය     බල රහිත බව පෙන්වා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම පෙත්සම විභාගකර අවසන් තීන්දුව ලබා දෙන තෙක් ජූනි මස 20 දා මැතිවරණය පැවැත්වීමට අදලා ගැසට් නිවේදනය හා මාර්තු 02 දි පාර්ලිමේන්තුව  විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය  තාවකාලිකව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත.

Exit mobile version