චීන එන්නතට අනුමැතිය දෙන්න බෑ කී ඖෂධ නියාමන අධ්‍යක්ෂවරුන් හතරක් දොට්ට

ලෝක සෞඛ්‍ය සංවිධාන අධ්‍යක්ෂ ජනරාල්ගේ විශේෂ නියෝජිතයාත් ඒ අතර

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කලාපීය විශේෂ නියෝජිතයකු ලෙසින් ක්‍රියා කරන විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතාද ඇතුළු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂවරුන් හතර දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරිමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත් පත වාර්තා කරයි.

චීනයෙන් ආනයනය කිරීමට නියමිත සිනෝෆාම් කොවිඩ් එන්නත සඳහා අනුමාතිය ලබා නොදීම ඔවුන් හදිසියේ ඉවත් කිරීමට ආසන්නතම හේතුව බව වාර්තා වේ.

මෙසේ ඉවත් කරන ලද අධ්‍යක්ෂවරුන් වන්නේ විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන්, කළමනාකරණ විශේෂඥයකු ආචාර්ය කපිල රණසිංහ, ගිණුම් විශේෂඥයකු වන හර්ෂණ කරුණාරත්න සහ නීතීඥ චමින්දිකා හේරත් යන මහත්ම මහත්මීන්ය.


පුවත් පත වාර්තා කරන පරිදි මෙම අධ්‍යක්ෂවරුන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය සඳහා යොමු කොට ඇති කොවිඩ් වසංගතය හමුවේ හදිසි භාවිතය සඳහා අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇති චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත ට අදාළ අනුමැතිය ලබා නොදීම බව පැවසේ.

මෙම එන්නත සඳහා මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතියද ලැබී නොමැති අතර එහි සාර්ථකත්වය ආරක්ෂිත භාවය සම්බන්ධයෙන් වූ වාර්තා මෙන්ම සායනික පරීක්ෂණ වාර්තා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යයනය සඳහ ඉදිරිපත් කිරිමට අපොහොසත් වී ඇත.

මෙම තත්ත්වය මත එය අනුමත කළ නොහැකි බවට මෙම අධ්‍යක්ෂවරුන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන චන්න ජයසුමන සහ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දපුල්ලේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදීද පවසා ඇත.

මෙම කරුණ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එකඟතාව පළ කර ඇති නමුත් පසුගිය මාර්තු මස 08 වැනිදා ඖෂධ නිෂ්පාදනය, සැපයුම් නියාමනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන විසින් ඔහුට පවතින බලතල අනුව මෙම අධ්‍යක්ෂවරුන් ඉවත් කරන බව දන්වා ඇති අතර මේ වෙනුවට නව අධ්‍යක්ෂවරුන් සිව් දෙනකු පත් කිරිමට කටයුතු කර තිබේ.

ඒ අනුව රජයට දේශපාලනික වශයෙන් සහය දැක්වූ වෛද්‍ය සිසිර සිරිබද්දන, වරලත් ගණකාධිකාරීවරයකු වන උදය ශ්‍රි කාරියවසම්, නීතීඥ රාජා ගුණරත්න හ වෛද්‍ය ආර්.අයි විජේවන්ත යන මහත්වරුන් මෙසේ පත් කොට ඇත.
ජාතික ඖෂධ නියාමන අධකාරිය නිසි ලෙස මෙරට කොවිඩ් වසගංතය හමුවේ හදිසි භාවිතය සඳහා අවසර දී ඇති එන්නත් වන්නේ ඉන්දියාවේ සීරම් ආයතනයේ නිපදවන කොවිෂීල්ඩ් එන්නත සහ රුසියාවේ ස්පුට්නික් එන්නතයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සන්ඩේ ටයිම්ස් පුවත්පතම තවත් පුවතකින් අනාවරණය කරන පරිදි ඉන්දියාවේ සීරම් ආයතනයේ ප්‍රකාශකයෙක් එම පුවත්පතට ප්‍රකාශ කොට ඇත්තේ ඔවුන් කලින් පොරොන්දු වූ කාල සීමාව තුළම ශ්‍රි ලංකාව දැනට ඇණවුම් කර ඇති එන්නත් ලක්ෂ 10ක තොගය ලබා දීම අපහසු වනු ඇති බවය. ඔවුන්ගේ නිෂ්පාදනය සම්බන්ධයෙන් ඇති වූ ප්‍රශ්න හේතුවෙන් එහි ප්‍රමාදයක් අති විය හැකි බව දක්වා තිබුණි.

Exit mobile version