චීන එන්නතට අනුමැතිය දුන්නේ මෙරට සිටින චීනුන්ට දෙන්නයි

චීනයේ නිෂ්පාදනය කරනු ලබන සිනොෆාම් (Sinopharm) කොවිඩ් එන්නත සඳහා ලබා දී ඇති අනුමැතිය ලියාපදිංචිය අතහැර (Waiver OF Registration) ලබා දුන් එකක් බවත් එය මෙම එන්නත් තොගය චීන රජයෙන් ශ්‍රි ලංකාවට ත්‍යාග වශයෙන් ගෙන්වීමට පමණක් සහ මෙරට වෙසෙන චීන ජාතිකයන්ට පමණක්  ලබා දෙන අවසරයක් බවත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම එන්නත මෙරට හදිසි භාවිතිය සඳහා අනුමත කිරීම සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා පැවැති සාකච්ඡාවේදී දැඩි සංවාදයට ලක් වූ බව වාර්තා වන අතර මෙම ඖෂධයේ සායනික පරීක්ෂණ දත්ත නිසි ලෙස තවමත් ජාතික ඖෂධ නියාමන අධිකාරියට එවා නොමැති තත්ත්වයක් තුළ මෙසේ අදාළ එන්නත් තොගය රට තුළට ගැනීමට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවශ්‍යතාව මත එසේ ලියාපදිංචිය අත් හළ අවසරයක් ලබා දී තිබේ.

ජාතික ඖෂධ අධිකාරිය පනතේ 109 වැනි වගන්තිය යටතේ එහි වැඩ බලන සභාපතිවරයා විසින් මෙම අනුමැතිය ලබා දී ඇති බව වාර්තා වේ.


මෙම චීනයේ නිෂ්පාදිත එන්නතෙන් ලක්ෂ හයක පමණ තොගයක් මෙරටට ගෙන්වීමේදී සපුරාලිය යුතු වාර්තා අවශ්‍යතා මත රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ඉල්ලීමට අනුව එම අනුමැතිය ලබා දී ඇති බව පවසන එම ආරංචි මාර්ග එයින් එන්නත් 30000ත් 40000ත් අතර ප්‍රමාණයක් මෙරට රැඳී සිටින චීන ජාතිකයන් වෙත ලබා දීමට අවශ්‍ය පහසුකම් සපයන ලෙස චීන රජය විසින් මෙරට රජයෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන් වේ.

කෙසේ වුවද මෙම එන්නත් තොගය ගෙන්වීම මහත් විවාදයට තුඩු දුන් කරුණක් වූයේ එම එන්නත් අනුමැතිය සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් සලකා බැලිය යුතු විද්‍යාත්මක වාර්තා අසම්පූර්ණ වීම හේතුවෙන් එහි අධ්‍යක්ෂවරුන් එම වාර්තා ලැබෙන තෙක් අනුමැතිය ප්‍රතික්ෂේප කිරීමට කටයුතු කිරිමය. මෙම තත්ත්වය තුළ ඖෂධ නිෂ්පාදන සැපයුම් සහ නියාමනය පිලබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන  විෂය භාර අමාත්‍යවරයා ලෙස තම බලය පාවිච්චි කරමින් මෙම එන්නත අනුමැතියට විරුද්ධ වූ අධ්‍යක්ෂවරුන් සිව් දෙනකු ඉවත් කිරීමට පසුගිය සතියේ කටයුතු කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එමෙන්ම මෙම ප්‍රශ්නය මුල්කරගෙන මහාචාර්ය අසිත ද සිල්වා ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති තනතුරෙන් ඉල්ලා අස්විය. ඒ අනුව අලුතින් පත් වූ සාමාජිකයන් අතරින් විශේෂඥ වෛද්‍ය සිසිර සිරිබද්ධදන ඖෂධ නියාමන අධිකාරියේ වැඩ බලන සභාපතිවරයා ලෙසින් කටයුතු කරයි. මෙම සිනෝෆාම් ඖෂධයට අදාල මෙවැනි අනුමැතියක් හෝ ලැබී ඇත්තේ ඔහුගේ සභාපතිත්වයෙන් පසුගිය සිකුරාදා පැවති රැස්වීමෙන්වන අතර මේ රැස්වීමේ දී එන්නත ට අනුමැතිය ලබා දිම සම්බන්ධයෙන් වාද විවාද ඇති වූ බව ආරංචි මාර්ග සඳහන් කරයි.

Exit mobile version