ගෝනියක දැමූ කාන්තා මළ සිරුරක් වාලච්චේනෙන් හමුවේ..

මළ සිරුර හමු වූ ස්ථානය

ගෝනියක දමා ගැටගැසූ කාන්තා මළ සිරුරක් අද (06) වාලච්චේනයෙන් හමුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

මෙම මළ සිරුර හමුවී ඇත්තේ වාලච්චේන නගරයේ ඇලුමිණියම් භාණ්ඩ හා සුරතල් මසුන් අලෙවිකරන අලෙවි සලක් තුළිනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකරවයා කී ආකාරයට සිද්ධිය මෙසේය.
ඊයේ (05) සවස වාලච්චේන පොලිසියට 55 හැවිරිදි කාන්තාවකගේ අතුරුදන් වීමක් පිළිබඳව පැමිණිල්ලක් ලැබී තිබේ.


එම පැමිණිල්ලෙන් කියැවී තිබුණේ මෙම කාන්තාව සවස් කාලයේ බැංකුවට යන බව කියා පිටව ගිය නමුත් තවමත් නිවසට නොපැමිණි බවය.

එම පැමිණිල්ල ගැන විමර්ශනය කරමින් සිටින අතරතුරම වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත තවත් පැමිණිල්ලක් ලැබී තිබේ.

ඉන් කියැවී ඇත්තේ වාලච්චේන නගරයේ සුරතල් මසුන් සහ ඇලුමිනියම් භාණ්ඩ අලෙවි කරන වෙළෙඳසලක් තුළ සැක කටයුතු ගෝනි දෙකක් ඇති බවය.

පොලිසිය එම වෙළෙදසල පරීක්ෂා කිරීමේ දී ගෝනි දෙකෙන් එක් ගෝනිය පොහොර තොගයක් සහ අනෙක් ගෝනියේ කාන්තා මළසිරුරක් තිබෙන බව හෙළිදරවු වී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේ අතුරුදන් වූ කාන්තාවගේ සිරුර මේ ගොනිය තුළ ඇති බවට විශ්වාස කරන බවය.

මේ කාන්තාව බැංකුවට යෑමට පිටත් වී ඇත්තේ ත්‍රී රෝද රථයකිනි. මෙම මළු දෙක අදාල වෙළෙඳසල වෙත ගෙනැවිත් දී ඇත්තේත් එම ත්‍රී රෝද රථයේ රියදුරු විසිනි.

දැනට ලැබී ඇති තොරතුරු අනුව මෙම ඝාතනය ත්‍රී රොද රථ රියදුරු විසින් කර සිරුර ගෝනියක බහා මේ ස්ථානයට ගෙනැවිත් ඇති බවට සැක කරන බව පවසන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඔහුවත් මෙම වෙළෙඳසල් හිමිකරුවත් අත්අඩංගුවට ගෙන ඇති බව පැවසුවේය.

මේ සම්බන්ධව අද (06) වාලච්චේන මහේස්ත්‍රාත්වරයා වෙත දන්වා මහේස්ත්‍රාත් පරීක්ෂණයක් හා ඉන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වාලච්චේන පොලිසිය වැඩි විමර්ශන පවත්වන බවත් අද දිනයේ මෙම ස්ථානයට පොලිස් අපරාධ පරික්ෂණ ස්ථාන නිලධාරීන් ගෙන්වා තවදුරටත් විමර්ශන සිදුකිරීමට විද්‍යාත්මක සාක්ෂි ලබා ගැනීමට නියමිත බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

Exit mobile version