ගූගල් ලූන් – ට්විටර් කතා නිසා පාර්ලිමේන්තුව උණුසුම් වෙයි

පසුගිය රජය සමයේ ක්‍රියාවට නැංවීමට ගොස් අතරමග නැවතුණු ගූගල් ලූන් අන්තර්ජාල දත්ත ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවේදී සාකච්ඡාවකට ලක් වූ පුවතක් සාවද්‍ය ආකාරයෙන් ප්‍රචාරය වීම හේතුවෙන් අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී වාදයක් ඇතිවිය. එයට මුලපිරුවේ සමගි ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මන්ත්‍රිවරයාය.

තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය විසින් ගූගල් ලූන් ව්‍යාපෘතියේ ප්‍රචාරක කටයුතු සඳහා රුපියල් මිලියන 6.4ක් වියදම් කළ බවට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර කාරක සභාවේදී එනම් කෝප් කමිටුවේදී අනාවරණය වූ බවට සාවද්‍ය ප්‍රවෘත්තියක් පාර්ලිමේන්තුවේ නිල ට්විට් ගිණුමේ පළ කර ඇති බවත් එවැනි සාවද්‍ය කරුණක් පාර්ලිමේන්තුවේ නිල ටිවිටර් ගිණුමේ සඳහන් වූයේ කෙලෙසද යන්න පිළිබඳව අදාළ පාර්ලිමේන්තු නිලධාරීන් සහ එය ප්‍රචාරය කළ දෙරණ සහ හිරු නාලිකා වරප්‍රසාද කමිටුව හමුවට කැඳවිය යුතු බවට හරීන් ප්‍රනාන්දු මහතා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

එම මුදල වියදම් වීම ගූගල් ලූන් ව්‍යාපෘතියට කිසිදු සම්බන්ධයක් නොමැති වත් ඒ පිළිබඳව තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා විගණකාධිපතිවරයා වෙත නිසි පැහැදිළි කිරීමක් කර තිබියදීත් ඒ පිළිබඳ ව කෝප් කමිටුටව්දීත් කතාබහට ලක්ව තිබියදීත් මෙවැනි වැරදි කතාබහක් පාර්ලිමේන්තුව මඟින්ම නිල ට්විටර් ගිණුම හරහා ප්‍රචාරය කිරීමට පාර්ලිමේන්තුවේ ටිවිටර් ගිණුම මෙහෙයවන පුද්ගයලයාට බලය ලබාදී ඇත්තේ කවුදැයි ඔහු ප්‍රශ්න කළේය.


මේ වැරදි සම්බන්ධයෙන් කථානායකවරයා මෙනම් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාද වගකීම භාර ගත යුතු බව ඔහු අවධාරණය කළේය.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් කතානායකවරයාගෙන් විමසා සිටියේ මෙම අසත්‍ය පුවත පළ කිරීම සම්බන්ධයෙන් ගන්නා පියවර කුමක්ද යන්නය. පාර්ලිමේන්තුවේ නිල ට්විටර් ගිණුමක් මේ ආකාරයෙන් වැරදි ලෙස හසුරුවන්නේ කවුද යන්න පිළිබඳව මේ මොහොතේම සභාවට දැන්විය යුතු බව හෙතම අවධාරණය කළේය.

කථානායකවරයා මේ සම්බන්ධයෙන් සොයා බලන බවට පොරොන්දු වූ අතර කෝප් කමිටු සභාපති චරිත හේරත් මහතාද පැහිදිලි කිරීමක් කළේය. ඔහුද මෙම පුවත නිරවද්‍ය නොවන බව පෙන්වා දුන් අතර එය විකාශය කළ මාධ්‍ය ආයතන පාර්ලිමේන්තුවෙන් ලබා ගන්නා වීඩියෝ හරහා අදාළ පුවත ලබාගෙන ප්‍රචාරය කර ඇති බව ප්‍රකාශ කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ට්විටර් ගිණුමක අරමුණ යම් පුවතක් ඒ වෙලාවේම ප්‍රචාරය කිරීම වුවද විපක්ෂ නායකවරයා පවසන කතාවට තමන් එකඟ වන බවත් ඒ ආකාරයට විට්ටර් පනිවිඩ යැවීම නුසුදු බවත් ප්‍රකාශ කළ අතර පාර්ලිමේන්තුවට ට්විටර් ගිණුමක් අවශ්‍යද නැද්ද ආදිය පිළිබඳව ඉදිරියේදී පාර්ලිමේනතු කටයුතු පිළිබඳ කාරක සභාවකදී අවදානයට ලක් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චරිත හේරත්  සඳහන් කළේය.

 

Exit mobile version