ගිනිදැල් පත්තු වූ දෙමළ ජාතික සන්ධානය

දිනසේන රතුගමගේ:

දෙමළ ජාතික සන්ධානය පක්ෂයක් වශයෙන් විශාල අර්බූදයකට මේ දිනවල ලක්වී සිටියි. නමුත් ඔවුන්ගේ පක්ෂය තුළ විවිධ අර්බූද නිර්මාණය වූයේ අදක ඊයේක නොවේ. මහමැතිවරණයට පෙරසිටම මතගැටුම් පමණක් නොව, ශාරීරික ගැටුම්වලටද දෙමළ ජාතික සන්ධානයේ උදවිය මුහුණ දුන්හ.

දෙමළ ජාතික සන්ධානය සමග එක්ව සිටි දේශපාලනඥයෝ රැසක්ම එම පක්ෂය අතහැර ගියේ මහ මැතිවරණයක් පිළිබදව කතාවක් ඇසෙන්නටත් පෙරාතුවය.


සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් වැනි ප්‍රබල දෙමළ දේශපාලනඥයින් දෙමළ ජාතික සන්ධානය හැර යාමත් සමගම ඒ කාලවකවානුවේදී
දේශපාලන බලයක් හිමිකරගෙන සිටි වන්නි දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ ශිවශක්ති ආනන්දන් මෙන්ම උතුරු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේස්වරන් මහතාද දෙමළ ජාතික සන්ධානයෙන් සමුගෙන වෙනම දේශපාලන ප්‍රවාහයකට එක් වූහ.

දෙමළ ජාතික සන්ධානය අතහැර ගිය ඔවුන් පසුපස යන්නට උපන්දා සිටම දෙමළ ජාතික සන්ධානය සමග සිටි ටෙලෝ සංවිධානයේ හිටපු සභාපති
එම්.කේ.ශිවාජිලිංගම්ද එහි ලේකම් එස්.ශ්‍රී කාන්තාද කටයුතු කළහ.

ආනන්දි ශෂිහරන් ඇතුලු බොහෝ දෙනෙකු දෙමළ ජාතික සන්ධානයට ආයුබෝවන් කීවේ ඒ පක්ෂය තුළ පැවති නානාවිධ අර්බුදයන් නිසාය.

මේ සියල්ල මීට වසර ගණනාවකට ඉහත සිට තේරුම් ගත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරී මහතා දෙමළ ජාතික සන්ධනය අතහැර ගොස්
දෙමළ ජාතික සන්ධානය නිර්මාණය කළ හිටපු කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ටද බලපෑම් එල්ල කළේය.

මේ සියලු සිද්ධීන් හා ඒ ඒ කාලවකවානුවලදී සිදුවූ සිදුවීම් දෙස බලන විට මේ රටේ මැතිවරණ වලට පෙර සිටම දෙමළ ජාතික සන්ධානයේ අර්බූද වැඩි වූ බවක් පෙනෙන්නට තිබේ.

මැතිවරණ සමය ආරම්භයත් සමගම උතුරේ දෙමළ දේශපාලන පක්ෂ දෙමළ ජාතික සන්ධානය සමග ගණුදෙණු කල අන්දම විමසා බලන විට දෙමළ ජාතික
සන්ධානයට පැහැදිලි මනසකින් යුතුව මැතිවරණ තරග බිමේ සිටීමට නොහැකි විය.

යුද සමයේදී අතුරුදහන්වූවන්ගේ ඥාතී සංගමයේ කාන්තාවන් පිරිසක් වවුනියාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා ඇතුලු තවත්
මන්ත්‍රීවරු කීප දෙනෙකුගේ වාහන වලට සෙරෙප්පු වලින් දමා ගැසුහ.

පොලීසියේ දැඩි රැකවරණය මැද ගමන් කළ පිරිසගේ එම වාහන වලට පහරදුන් කාන්තාවෝ ඔවුන්ට බැණ වැදුණේ දෙමළ ජාතිය විනාශ කළ විනාශ කරුවන් බව
කියමිනි.බැරි වීමකින් හෝ ඒ අවස්ථාවේදී පොලීසිය දෙමළ ජාතික සන්ධානයේ නඩයට ආරක්ෂාව සපයා නොදුන්නේ නම් කාන්තාවන්ගේ සෙරෙප්පු පාරවල්
ඔවුන්ගේ කම්මුල් හරහා වදිනවාට කිසිදු සැකයක් නොමැත.

මේ සමගම යාපනයේදී ස්ථාන දෙකකදී දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක හා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන්ටත් කිළිනොච්චියේ මන්ත්‍රී එස්.ශ්‍රීධරන්ටත්
අපූරු ඇබැද්දියකට මුහුණ පෑමට සිදුවිය.ඒ ඔවුන් දේශපාලන රැස්වීමකට සහභාගී වීමට පෙර දෙමළ තරුණයින් පිරිසක් ඔවුන් දෙදෙනාගේ අනුරුවවලට සමාන පඹයින් දෙදෙනෙකු රෙදිවලින් සකසා ඒවාට ගිණි තැබීමයි.

මේ පඹයින්ට ගිණි තැබීමද නිකම්ම නිකම් සිදු නොවීය. ඒ පඹයන්ට සෙරෙප්පුවලින් පහර දෙමින් පාර දිගේ බිම ඇදගෙන ගියේ ඔවුන් දෙමළ ජාතියේම හතුරන්
දෙදෙනෙකු බව කියමිනි.අවසානයේදී ඒ පඹයින් දෙදෙනාට ගිණි තැබුවේද පහර දෙමිනි.

මැතිවරණයත් සමගම දෙමළ ජාතික සන්ධානයට මුහුණ දීමට සිදුව ඇත්තේ විශාල චෝදනාවකටය. ඒ දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ නඩරාජා රවිරාජ් මහතාගේ බිරිද විසින් එල්ල කරණු ලබන චෝදනාවයි.

රවිරාජ් මහතා කිසියම් පිරිසක් විසින් වෙඩිතබා ඝාතනය කිරීමෙන් පසුව දියණියන් දෙදෙනෙකු සමග හුදෙකලා ජීවිතයක් ගත කළ ඔහුගේ බිරිද වන ශෂිකලා රවිරාජ් මහත්මියව දේශපාලනයට ඈදා ගත්තේ සුමන්තිරන් මන්ත්‍රීවරයා විසිනි.

සම්බන්ධන් මන්ත්‍රීවරයාද සුමන්තිරන්ගේ ඉල්ලීමට එකග වූයේ ඇයට දෙමළ ජාතික සන්ධානය තුල ගෞරවයක් ලබාදීමට නොව නාමයෝජනා සැකසීමේදී කාන්තා නියෝජනයකට ඉඩක් තිබිය යුතු නිසාමය.

අවසානයේදී දෙමළ ජාතික සන්ධානයවත් බලාපොරොත්තු නොවූ දෙයක් යාපනයේ දේශපාලන පොරපිටියේදී සිදුවුණි.

යාපනය කිළිනොච්චි ප්‍රදේශවල වැඩි
දෙනෙකු යුද්ධය නිසා සිය ස්වාමීපුරුෂයින් අහිමිව වැන්දඹුවන් බවට පත්ව සිටින බැවින් ඔවුන් සියලු දෙනාගේම සහය මහමැතිවරණයේදී ලැබුණේ සෂිකලා රවිරාජ් මහත්මියටය.

මේ නිසාම සෂිකලා මහත්මිය පවසන ආකාරයට ඇය මනාප උපයා ගැනීමේදී යාපනයේ දෙවන ස්ථානයට පැමිණ සිටියාය.මේ බව දැනගත් වහාම සුමන්තිරන් මහතාගේ ආධාරකරුවන් පිරිසක් පැමිණ සෂිකලා මහත්මිය සමග විශාල ආරවුලක් ආරම්භ කළේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ අන්දමටය.

සුමන්තිරන්ට මන්ත්‍රීධුරය අහිමිව ඔහු මැතිවරණයෙන් පරාජය වූ බවට ප්‍රවෘත්ති වාර්තා උතුරේ සෑම දෙමළ වෙබ් අඩවියක මෙන්ම සමාජ ජාලා ඔස්සේ පැතිර යාමත් සමගම යාපනයේ ඡන්ද ගණන් කරන ප්‍රධාන ශාලාව ඉදිරිපිට ඇති වූයේ මහා ගුටිකෙළියකි.

එකිනෙකා එකිනෙකාට පහර දී ගනිද්දී වැන්දඹු කන්තාවක් වූ සශිකලා මහත්මියද සිය දියණියන් දෙදෙනා සමග මේ ගුටි කෙළියට මැදි වූවාය.

පහර දුන් පිරිස ඔවුන් තිදෙනාටම පහර දෙද්දී පොලීසිය පැමිණ ඔවුන්ව බේරා ගත්හ. මධ්‍යස්ථ තරුණයෙකු මැදිහත් වී ඔවුන් තුන්දෙනාව එලියට කැදවාගෙන යන අවස්ථාවේදී සෂිකලා මහත්මිය හා දියණියන් දෙදෙනා පහර කෑමට ලක්ව මහා හඩින් විලාප තබමින් ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයෙන් පිටව ගියහ.

ඇයට සිදු වූ අසාධාරනයට එරෙහිව ඇය සිය දරුවන් හා ඥාතිඋඉන් සමග එක්ව යාපනයේ චාවාකච්චේරී තෙන්මරච්චි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පිහිටුවා ඇති සිය සැමියා වූ නැසීගිය රවිරාජ්ගේ ප්‍රතිමාව ඉදිරිපිට විරෝධතාවයක් ආරම්භ කළාය.

දෙමළ ජාතික සන්ධානයට එරෙහිව ආරම්භ කළ මෙම විරෝධතාවයේදි ඔවුන් සියලු දෙනා විරෝධය දක්වන ලද්දේ කලුපැහැති ඇදුම් ඇදගෙනය.කලු රෙදිවලින් රවිරාජ් ප්‍රතිමාව වසා දමා ඔවුන් කියා සිටියේ දෙමළ ජාතික සන්ධානය රවිරාජ් ප්‍රතිපත්ති වළලා දැමූ බවය.

මේ විරෝධතාවය පිළිබදවත් සෂිකලා මහත්මියගේ මනාප හොරකෑමකට ලක් වී ඇති බවටත් ආරංචි පැතිරයාමත් සමගම දෙමළ ජාතික සන්ධානයට විරුද්ධ දෙමළ
දේශපාලනඥයෝ කණ්ඩායම් වශයෙන් ශෂිකලා මහත්මියගේ නිවසට සේන්දු වූහ.

මුලින්ම එම්.කේ.ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රීවරයා ඇගේ අදහස් විමසා යාපනයේ මනාප ගණනයේදී සිදුව ඇතැයි කියන අසාධාරණයට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට අවශ්‍ය මූලික කරුණු ගොණු කළේය.

වෘත්තියෙන් නීතිඥයෙකු වූ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂයේ නායක මෙවර මන්ත්‍රීවරයෙකු බවට පත්වූ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ගේද සහය දැන් ඊට ලැබෙමින් පවතී.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යාපනයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ අංජන් රාමනාදන් මහතාද ආනන්දි ශෂිහරන් මහත්මියද සෂිකලා මහත්මියගේ නිවසට පැමිණ ඇයට දෙමළ ජාතික සන්ධානයෙන් සිදු වූ අසාධාරනයට එරෙහිව සටන් කිරීමට පෙරමුණ ගෙන සිටියි.

ශෂිකලා මහත්මියට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් මුලටම වග උත්තරකරු වී සිටින්නේ සුමන්තිරන් මන්ත්‍රීවරයාය.ඊළගට එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයාය.සම්බන්ධන්
මන්ත්‍රීවරයාටද එහි කොණක් ඈදී ඇත්තේ මේ තරම් අසාධාරණයක් සිදුව තිබියදීත් නායකයා වශයෙන් ඊට මැදිහත් නොවීම සම්බන්ධයෙනි.

මේ සියල්ල මැද රවිරාජ් ප්‍රතිමාවේ අලංකාරයට හා ගෞරවයට ඒ ප්‍රතිමාව අසල තනා තිබූ බොහෝ දේ හා මල් බදුන් කිසියම් පිරිසක් විසින් කඩා බිද විනාශ කොට තිබුණි.

යාපනයේ දේශපාලනික වශයෙන් ලොකු උණක් නොමැති සාමාන්‍ය ජනතාවද මේ සිද්ධිය හෙළා දකිමින් දෙමළ ජාතික සන්ධානයේ දේශපාලනඥයින්ගේ මියගිය
මව්වරුන් පවා සිහිපත් කරන්නට පටන්ගෙන සිටිති.

දෙමළ ජාතික සන්ධානයට යාපනයේ සාමාන්‍ය ජනතාව බැණවදිමින් සිටියදී කවරෙකුගේ හෝ ශාපයකට අගෝස්තු නව වෙනිදා උදෑසන වන විට දෙමළ ජාතික සන්ධානයේම දේශපාලනික පිරිස වෙඩිමුර තබන්නට පටන් ගෙන තිබේ.

ඒ දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලයිස්තු මන්ත්‍රීධුරයට අයෙකු පත් කිරීමත් සමගය.

දෙමළ ජාතික සන්ධනය මධ්‍යම කාරක සභාවකින් හා විනය නීතිරීති මාලාවකින් සම්න්විත පක්ෂයක් වූවත් සම්බන්ධන් මන්ත්‍රීවරයා එහි නායකයා වශයෙන්ද
සුමන්තිරන් මන්ත්‍රීවරයා එහි ප්‍රකාශකයා වශයෙන්ද පක්ෂය බූදලයක් බවට පත් කරගෙන සිටින බවට චෝදනා එල්ල වී තිබේ.

දෙමළ ජාතික සන්ධානයේ අඩුපාඩු පෙන්වා දෙමින් වරක එම පක්ෂයෙන් ඉවත්වීමට කටයුතු කළ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හා ටෙලෝ සංවිධානයේ නායක
සෙල්වම් අඩෙයිකලනාදන් මහතා කියා සිටින්නේ ජාතික ලයිස්තුවෙන් මන්ත්‍රීධූරයට පත් කළ තැනැත්තා පිළිබදවත් ඒ සදහා අනුගමනය කොට ඇති ක්‍රියාමාර්ගය
පිළිබදවත් තමන් සෑහීමකට පත් නොවන බවයි.

මේ පත්කිරීම සම්බන්ධයෙන් ආර්.සම්බන්ධන් මන්ත්‍රීවරයා හා සුමන්තිරන් මන්ත්‍රීවරයා පමණක් සාකච්ඡා කොට තීරණයක් ගැනීම බරපතල වරදක් බව පෙන්වා දෙන අඩෙයිකලනාදන් මහතා අම්පාර දිගාමඩුල්ල ප්‍රදේශයේ සිංහල හා මුස්ලිම් ජාතිකයින්ද බහුලව වෙසෙන නිසා එම පළාතට නව මන්ත්‍රීවරයෙකු පත් කිරීමේදී මීට වඩා සැලකිළිමත් වියයුතු බවද කියා සිටියි.

දෙමළ ජාතික සන්ධානයේන් මහ මැතිවරණයට ඉදිරිපත් වී පරාජය වූවෙකුට මන්ත්‍රීධූර ලබා නොදෙන බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් තීරණයක් ගෙන තිබියදී එම තීරණය වෙනස් කිරීම ගැන තමන් තුළ ඇත්තේ දැඩි කම්පාවක් බවද අඩෙයිකලනාදන් මහතා මාධ්‍යවේදීන් අමතා මන්නාරමේදී පැවසීය.

දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක් වන ප්ලොට් සංවිධානයද ඊට විරුද්ධවී සිටින අතර එහි නායක ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා කියා සිටින්නේ මහමැතිවරණයේදී ගම් බිම් වල ඇවිදිමින් දහසක් දුක් කම්කටොලු මැද එකතු කරගත් ඡන්ද ප්‍රමණය නායකයින්ගේ අභිමතය පරිදි විනාශ වීමට ඉඩදිය නොහැකි බවයි.

දෙමළ ජාතික සන්ධානයට ප්‍රධාන දේශපාලන පක්ෂ තුනක් සම්බන්ධව සිටියදී තීරණ ගැනීමේදී එහි නායකයා හා තවත් අය ඔවුන්ට අවශ්‍ය තීරණ ගැනීම බරපතල වරදක් බවද ඔහු කියා සිටියි.

ඔවුන් මේ ගන්නා ලද තීරණය පිළිබදව ටෙලෝ නායකයා සමගද ප්ලොට් සංවිධානය සාකච්ඡා කොට වහාම තීරණයක් ගන්නා බව සිද්ධාර්ථන මහතා පැවසීය.

මේ අතර උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සී.වී.කේ.ශිවඥාණම් මහතා කියා සිටින්නේ ජාතික ලයිස්තු මන්ත්‍රීධුරය මැතිවරණයට ඉදිරිපත් වී පරාජය වූවෙකුට
ලබාදීමට දෙමළ ජාතික සන්ධානයේ නායකයා තීරණය කලේ නම් ඒ සදහා නියම සුදුස්සා මාවෙයි සේනාධිරාජා මහතා බවයි.

සේනාධිරාජා මහතා පක්ෂය වෙණුවෙන් විශාල සේවාවක් ඉටුකොට තිබියදී ජාතික ලයිස්තු මන්ත්‍රීධූරය ලබාදීම එවැනි අයෙකුට ලබාදීමට සෙසු අය සමග
නායකත්වය සාකච්ඡා කළ යුතු බවද ඔහු පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙමළ ජාතික සන්ධානය තුල අලුතින්ම හටගත් මේ අර්බූදය නිසා ඒ පක්ෂය තුළ ඇතැම් විට විශාල දෙදරුම් කෑමක් සිදුවිය හැකි බවට මේ වන විට අනාවැකි පලවෙමින් පවතින අතරතුර ශෂිකලා මහත්මිය කියා සිටින්නේ ඔවුන් තමන්ටත් තම සැමියාටත් කළ අපරාධය දැන් පටිසන් දෙමින් පවතින බවය.

Exit mobile version