කෝප් කමිටුවේ දී බලපෑම් එල්ල වූ බව කීවේ වැරදීමකින් – හිටපු ලංවිම සභාපතිට ආයෙත් වැරදිලා..

කෝප් කමිටුව විසින් අසාධාරණ ලෙස  තමන් බරපතල පීඩාවකට පත් කළ නිසා ඇතිවූ ආතති තත්වයක් මත ඉන්දියානු අගමැතිවරයා සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සම්බන්ධව   වැරදි ප්‍රකාශයක් කළ බව කී විදුලිබල මණ්ඩලයේ හිටපු  සභාපති   එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු, එදින කෝප් කමිටු රැස්වීමේදී එම කමිටුව විසින් තමාට අසාධාරණ ලෙස බලපෑම් කළ බවට තමන් කළේ වැරදි ප්‍රකාශයක් බව අද (23) කෝප් කමිටුව හමුවේම  ප්‍රකාශ කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ තමන් මේ කරන්නේ නිවැරදි වූත් සත්‍ය වූත් ප්‍රකාශයක් බවට කෝප් කමිටුව හමුවේ දිවුරුමක් ලබා දීමෙන් අනතුරුවය.

විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති එම්.එම්.සී. ෆර්ඩිනැන්ඩු අද  කෝප් කමිටුව හමුවට කැඳවනු ලැබුවේ  පසුගිය 10 වැනිදා  කෝප් කමිටුව හමුවේ පෙනී සිටි තමාට දැඩි බලපෑමක් සහ පීඩනයක් එල්ල වූ නිසා ඇතිවූ ආතති තත්වය හේතුවෙන්     කළ වැරදි ප්‍රකාශයක් ඉවත් කරගැනීම සඳහා 2022.06.11 දින  (CEB/CH/100) ලෙස අංකනය කරමින්  කමිටුව වෙත යොමුකළ  ලිපිය  මුල්කරගෙන පැහැදිලි කරගැනීම් කීපයක්  සිදුකරගැනීම සඳහාය.

මන්නාරම  සුළං සහ සූර්ය බල ව්‍යාපෘතිය ඉන්දියානු අදානි සමාගමට ලබා දන්නැයි ඉන්දීය  අගමැතිවරයා  ජනපතිවරයාට  බලපෑම් කිරීම සම්බන්ධව  විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස  පසුගිය 10 දා  කෝප් කමිටුවේ දී    කළ  තම ප්‍රකාශයෙන්   “ඉන්දියන් අගමැති බල කළ බව කීවා “ යන වචන  ඉවත් කරගැනීම සඳහා මෙම ලිඛිත ඉල්ලීම ඔහු විසින් කෝප් කමිටුවට  කර තිබිණි.


එහිදී  තමන් පවසන්නේ සත්‍යම බවට දිවුරුමක් දී  එම්. එම්. සී ෆර්ඩිනැන්ඩු  කෝප් කමිටුවට ප්‍රකාශ කලේ  2022 .06.10 දිනැති ලිපියේ සඳහන් ආකාරයට කෝප් කමිටු රැස්වීමේදී තමාට බලපෑමක් හෝ  අසාධාරණ චෝදනාවක් එල්ල වූ බවට පවසා තිබීම තමා විසින් කළ වැරදි   ප්‍රකාශයක් බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


2022.06.10 දින පැවැති කෝප් කමිටුවේ දී එවකට විදුලිබල මණ්ඩලයේ සභාපති වශයෙන් ෆර්ඩිනැන්ඩු   විසින් සිදුකරන ලද ප්‍රකාශයෙහි වචන කීපයක් ඉවත් කර ගැනීමට ඔහු විසින් කෝප් කමිටුවෙන් සිදු කරන ලද ඉල්ලීම දීර්ඝ සාකච්ඡාවකින් පසු අනුමත කිරීමට ද  කමිටුව විසින් තීරණය කළේය. .

Exit mobile version