“කොවිෂීල්ඩ්“  කොවිඩ් එන්නත් තොගය හෙට ලංකාවට

අනිද්දා සිට එන්නත්කරණය ඇරඹෙයි... එන්නත එක් දිනක් තුළ සුවසේවකයන්ගෙන් සියයට 50කට ලබා දීමට සැලසුම්...  

ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලද ඉන්දියාවේ නිෂ්පාදනය කර කොවිෂීල්ඩ් නාමයෙන් එන   ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය   හෙට (27) දිනයේ දී මෙරටට ලැබෙනු ඇති බවත් අනිද්දා සිටම එන්නත් කරණය ආරම්භ කිරීමට සූදානම් බවත් සෞඛ්‍ය අංශ පවසයි.

ඉන්දියාවේ ප්‍රදානයක් ලෙස ලැබෙන මෙම එන්නත් ලක්ෂ 05ක   තොගය ලැබීමෙන්  පසූ එක් දිනක් තුළ සෞඛ්‍ය සේවකයින්ගෙන් සියයට 50ක් එන්නත් කර අවසන් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මහජන සෞඛ්‍ය, හේමන්ත හේරත්  කියයි.

දැනට කර ඇති මූලික අධ්‍යයනයක දී තහවුරු කරගත් පරිදි    එක් මධ්‍යස්ථානයකින් පැයකට පුද්ගලයින් 15ත් 20ත් අතර පිරිසක් එන්නත් කළ හැකි බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


ඔහු පවසන්නේ කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රා තොගය ලබා දෙන පළමු කණ්ඩායම නිවැරදිව හඳුනාගැනීමේ කටයුතු  මේවන විට කටයුතු කරන බවය.      එන්නත් කරන පළමු කණ්ඩායම මේ වනවිට ලැයිස්තු ගත කිරීම ආරම්භ කර ඇති බවත් ඔහු කීවේය.

පළමු අදියර යටතේ එන්නත් ලබා දීමට නියමිතව ඇත්තේ රෝගීන් හෝ රොගීන් යැයි සැක කරන පුද්ගලයන් සමග ඍජුව ගැටෙන  මෙරට කොරෝනා මර්ධන වැඩසටහනේ ඉදිරි පෙළ කණ්ඩායමටය.   ඒ අනුව සෞඛ්‍ය සේවකයින් හා ආරක්ෂක අංශ සාමාජිකයින්ට එහිදී ප්‍රමුඛතාව හිමිවනු ඇති බවත්  ගුවන් තොටුපල, වරාය, සුව සැරිය කාර්ය මණ්ඩලය, විදේශිකයින් සමඟ ගැටෙන පිරිස් සහ ආර්ථික වශයෙන් වැදගත් ස්ථාන වල රාජකාරී කරන කාර්ය මණ්ඩලයට ද මෙහිදී එන්නත් ලබා දීමට නියමිත බවත් සෞඛ්‍ය අංශ පවසයි.

අවුරුදු 60ට වැඩි බෝ නොවන රෝග ඇති පුද්ගලයින්ටද එන්නත්කරණ පළමු අදියරේදී ප්‍රමුඛතාවක් හිමිවනු ඇතැයි පැවසේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මහජන සෞඛ්‍ය, හේමන්ත හේරත් කියා සිටියේ සෙසු පිරිසට එන්නත් කිරීම ආරම්භ කිරීමට සිදුවන්නේ දෙවන  එන්නත් තොගය මෙරටට ලැබීමෙන් පසුව බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත සඳහා ද රජය මේ වන විටත් ජාතික ඖෂධ නියාමන අධිකාරියෙන් අනුමැතිය ඉල්ලා තිබේ.  චීනයේ සිනෝෆාම් එන්නත ද මෙරටට ලබාගැනීම සඳහා මේවනවිටත් සාකච්ඡා ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග තහවුරු කරයි.

Exit mobile version