කොවිඩ් නැති ශ්‍රි ලංකාව යුරෝපා ගමන් අවසර ලයිස්තුවේ නැත්තේ ඇයි?

යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යංශයට පිළිතුරක්

යුරෝපා සංගමයට අයත් රටවලට අත්‍යවශ්‍ය නොවන ගමන් සඳහා අවසර ලබා දෙන රටවල් ලයිස්තුවට කොවිඩ් 19 සාර්ථක ලෙස පාලනය කළ ශ්‍රි ලංකාව ඇතුළත් නොවීමට හේතුව මෙරට ගුවන් තොටුපළ තවමත් විදේශිකයන් සඳහා විවෘත නොවීම බව එම සංගමයෙන් මෙරට රාජ්‍ය තාන්ත්‍රිකයන්ට දන්වා ඇතැයි විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

රට අභ්‍යන්තරයේ කොවිඩ් වසංගතය සාර්ථක ලෙස පාලනය කළ පසුබිමක් සහිත රටක් ලෙස ශ්‍රි ලංකාව සැලකුණද යුරෝපා සංගමයේ රටවලට ඇතුළු වීමේ සීමා ඉවත් කළ රටවල් ලයිස්තුවට ශ්‍රි ලංකාව ඇතුළු නොවීම සම්බන්ධයෙන් බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පිහිටි යුරෝපා සංගමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය දැඩි සේ අවධානය යොමු කළ බවත් මෙම ලයිස්තුවට ශ්‍රි ලංකාවද ඇතුළු කළ යුතු බවට අවධාරණය කළද යුරෝපා සංගමය පවසා ඇත්තේ මෙම රටවල් ලයිස්තුව සකස් කිරීමේදී මේ වනවිට ජාත්‍යන්තර මඟීන්ට ගමන් කිරීමට අවසර ලබා දී ඇති රටවල් පමණක් එම ලයිස්තුවට ඇතුළු කිරීමට කටයුතු කළ බවය.

යුරෝපා සංගමය නිවාඩු හෝ වෙනත් අත්‍යවශ්‍ය නොවන ගමන් බිමන් සඳහා තම සීමා ඉවත් කරන ලද රටවල් 15ක් ප්‍රකාශයට පත් කළ අතර මේ පිළිබඳව ලෝකයේ ම මහත් අවධානයට ලක්විය. ඔවුන් තම ලයිස්තුවට ඇතුළු කළ රටවල් වන්නේ ඇල්ජීරියාව, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ජෝර්ජියාව, ජපානය, මොන්ටෙනෙග්‍රෝ, මොරොක්කෝ, නවසීලන්තය, රුවන්ඩාව, සර්බියාව, දකුණු කොරියාව, තායිලන්තය, ටියුනීසියාව සහ උරුගුවේ යන රටවල් 14 ට අමතරව චීනයද ඔවුන් අර්ධ වශයෙන් ඇතුළු කොට ඇතතේ චීන බලධාරීන්ගේ අවසරය ලැබෙන්නේ නම් පමණක් ගමන් කළ හැකි රටක් ලෙසය.


කෙසේ වුවද විදේශ අමාත්‍යංශය පවසන්නේ කොවිඩ් පාන සාර්ථකත්වය සහ ජාත්‍යන්තර ගුවන්තොටුපළ විදේශීකයන් සඳහා විවෘත කිරීමේ පසුබිම මත යුරෝපා රටවල ජනතාවට ගමන් කළ හැකි ලයිස්තුව වරින් වර යාවත්කාලීන කිරීමට කටයුතු කරන බවය.

මේ අතර සංචාරක සහ සිවිල් ගුවන් සේවා කටයුත පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේ අගෝස්තු 01 වැනිදා වනවිට මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කිරීමේ අදහස තිබුණද දැනට පවතින තත්ත්වය මත එය අවිනිශ්චිත තත්ත්වයකට පත්ව ඇති බවය.

විශේෂයෙන් විදේශගත ශ්‍රි ලාංකිකයන් ගණනාවක් තවමත් මෙරටට පැමිණීම සඳහා බලාපොරොත්තුවෙන් සිටින පසුබිමක් තුළ මෙලෙස විදේශීය මඟීන් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීම ගැටලුවක් විය හැකි බවය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේ වුවද හැකි ඉක්මනින් ගුවන් කොටුපළ විවෘත කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.

Exit mobile version